මගේ සහෝදරයා නිදහස් කිරීමටත්, දේශපාලනයටත්, කිසිම සම්බන්ධයක් නැහැ – රිෂාඩ් බදියුද්දීන්

රිෂාඩ් බදියුදීන්ගේ සොයුරෙක් වන රියාජ් බදියුදීන්

රිට් පෙත්සමක්

“අපි දේශපාලන තීන්දු තීරණ ගන්නේ රටේ සහ ජනතාවගේ යහපත තකා හොඳට හොයලා බැලීමෙන් පසුවයි. නැතුව ජාතිවාදීන්ට බිය වෙලා කිසිම තීන්දු තීරණ ගන්නේ නෑ. මගේ සහෝදරයා නිදහස් කිරීමටත් දේශපාලනයටත් කිසිම සම්බන්ධයක් නැහැ” යනුවෙන් පාර්ලිමෙන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පවසා සිටියේය.

තම සහෝදරයා නිදහස් කළොත් තමා 20 වන සංශෝධනයට සහාය දක්වන බව රිෂාඩ් බදියුදීන් මහතා රජයට දන්වා ඇතැයි, අප සිංහලේ සංවිධානය පවසා ඇති මතය පිළිබඳව ඔහුගෙන් විමසා සිටි විට, එයට පිළිතුරු දෙමින් මෙලෙස විස්තර කළේය.

“ඒක අමූලික බොරුවක්. මගේ සහෝදරයා රියාස් බදියුදීන්ව අසාධාරණ චෝදනා මත අත්අඩංගුවට ගත්තා. චෝදනා ඔප්පු කර නැති නිසා මාස පහමාරකට පසු ඔහුව දැන් නිදහස් කර තියෙනවා. ඔහුගේ නිදහස් කිරීමටත් දේශපාලනයටත් කිසිම සම්බන්ධයක් නැහැ.

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවෙන් 200 දෙනෙකුට වැඩිය මිය ගිහින් තියෙනවා. 500 ක් පමණ තුවාල වෙලා තියෙනවා. මේක මම පිළිකුලෙන් හෙළා දකිනවා. මෙම සිදුවීම් විමර්ශනය කිරීම සියලු දෙනාගේ වගකීමක්. මගේ සහෝදරයා බොරු චෝදනා මත අත් අඩංගුවට ගනු ලැබුවත් මම කිසිදු විරෝධයක් පෑවේ නැහැ. චෝදනා අසත්‍ය ඒවා නිසා මම දන්නවා ඔහු නිදහස් වෙන බව. ඒ අනුව ඔහු අත්අඩංගුවට ගනු ලැබූ අය විසින්ම ඔහුව නිදහස් කරලා තියෙනවා.”

තමන් සෑම විටම දේශපාලන තීන්දු තීරණ ගනු ලබන්නේ රටේ සහ ජනතාවගේ යහපත තකා හොඳට සොයා බලා බවත්, අප සිංහලේ සංවිධානයට බය වෙලා නම් නොවන බවත් ඔහු පවසා සිටියේය.

-වීරකේසරි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *