2026 – 2035 ජාතික තරුණ ප්‍රතිපත්තියේ අවසන් පළාත් සාකච්ඡාව යාපනයේදී සාර්ථකව අවසන්!
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පත පිළිබඳ අවසන් පළාත් මහජන සාකච්ඡාව උතුරු පළාතේදී පැවැත්වේ
තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) සහයෝගයෙන් කෙටුම්පත් කරන ලද ජාතික තරුණ ප්‍රතිපත්තිය පිළිබඳ අවසන් මහජන සාකච්ඡාව උතුරු පළාතේ දී සාර්ථකව පවත්වා තිබේ.
ජාතික තරුණ ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා මහජන අදහස් සහ යෝජනා ලබාගැනීමෙන් අනතුරුව, ඒ සඳහා වන කෙටුම්පත පිළිබඳ පළාත් මට්ටමේ සාකච්ඡා මාලාව දකුණු පළාතෙන් ආරම්භ කෙරිණි. එහි 09 වැනි සහ අවසාන පළාත් සාකච්ඡාව ඊයේ (නොවැම්බර් 10) යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වා ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජයචන්ද්‍රමූර්ති රජීවන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ තරුණ කටයුතු අංශයේ නිලධාරීන්, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) නියෝජිතයින්, යාපනය දිස්ත්‍රික් ලේකම් කේ. සිවකරන් මහතා, ජාතික තරුණ සේවා සභාවේ උතුරු පළාත් අධ්යක්ෂ සහ දිස්ත්‍රික් අධ්යක්ෂවරුන්, ජාතික යොවුන් සේනාංකයේ නැගෙනහිර පළාත් අධ්යක්ෂවරුන් ඇතුළු නිලධාරීන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ Youth Club තරුණ නායක නායිකාවන් සහභාගී වූහ.
2026 – 2035 කාල රාමුව වෙනුවෙන් තරුණයන්ගේ සමස්ත සංවර්ධනය ඉලක්ක කරගනිමින් මෙම නව ප්‍රතිපත්තිය සකස් කර ඇත. තරුණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී මූලධර්ම 5ක්, ප්‍රතිපත්ති ඉලක්කයක්, ප්‍රතිපත්ති ප්‍රකාශන 8ක්, උපායමාර්ගික දිශානතීන් 12ක්, තිරසර සංවර්ධන ඉලක්ක (SDGs) හා සම්බන්ධ පුළුල් උපායමාර්ග 44ක් සහ ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා වන විශේෂ ක්‍රියාකාරී සැලැස්මක් (Action Plan) ද මීට ඇතුළත් වේ.



