ක්‍රිෂ් ගනුදෙනුව: නාමල්ගේ ඇප බල රහිත කරන්නැයි ඉල්ලූ අල්ලස් කොමිසමේ පෙත්සම හෙට විභාගයට!

0

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉකුත්දා දුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම, කරුණු තහවුරු කිරීම සඳහා හෙට (නොවැම්බර් 13 වැනිදා) කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද (නොවැම්බර් 12 වැනිදා) කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර ඉදිරියේ කැඳවනු ලැබිණි.

එහිදී වගඋත්තරකාර නාමල් රාජපක්ෂ වෙනුවෙන් නීතිඥ රම්සි බාචාගේ උපදෙස් මත පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි අධිකරණය හමුවේ කරුණු දක්වමින්, තමන්ට අද දින කලින් යොදාගත් පෞද්ගලික කටයුත්තක් යෙදී තිබෙන බැවින් පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා කෙටි දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

වගඋත්තරකරුට අධිකරණය මඟින් ඇප ලබා දී තිබුණද ඔහු තවදුරටත් රිමාන්ඩ් භාරයේ පසුවන බව ද ජනාධිපති නීතිඥවරයා එහිදී සඳහන් කළේය.

‘ඇප ලබා දීමට ගත් තීරණය නීතියට පටහැණියි’
අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂවරිය අධිකරණයට දැනුම් දුන්නේ මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා හෙට දින කැඳවීමට නියම කරන ලෙසයි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා අදාළ පෙත්සම හෙට (13) කැඳවීමට නියෝග කළේය.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නාමල් රාජපක්ෂට ඇප ලබා දීමට ගත් තීරණය නීතියට පටහැණි බැවින් එම නියෝගය ප්‍රතිශෝධනය කරන ලෙස අල්ලස් කොමිසම සිය පෙත්සමෙන් ඉල්ලා තිබේ.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති තවත් ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීම සඳහා ද හෙට දින කැඳවන ලෙස මහාධිකරණ විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed