තුර්කියේ ශ්‍රී ලංකාවේ පළමු කාන්තා ගරු කොන්සල්වරිය ලෙස එලිෆ් යුසෙලික්

0

තුර්කියේ ශ්‍රී ලංකාවේ පළමු කාන්තා ගරු කොන්සල්වරිය ලෙස ව්‍යවසායක එලිෆ් යුසෙලික් (Elif Yücelik) පත් කෙරේ
​තුර්කියේ එර්සුරුම් (Erzurum) නුවර ශ්‍රී ලංකාවේ නව ගරු කොන්සල්වරිය ලෙස ව්‍යවසායක එලිෆ් යුසෙලික් (Elif Yücelik) මහත්මිය පත් කර තිබේ. ඒ අනුව, ඇය තුර්කිය තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් පත් වූ පළමු කාන්තා ගරු කොන්සල්වරිය බවට පත් වේ.
​තුර්කියේ ශ්‍රී ලංකා තානාපති නිලූක කදුරුගමුව මහතා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය (Commission of Appointment) පසුගිය නොවැම්බර් 26 වැනිදා අන්කාරා නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී ඇය වෙත නිල වශයෙන් පිරිනමා ඇති බව එම තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
​2026 ඔක්තෝබර් 22 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වසර තුනක කාලසීමාවක් සඳහා මෙම පත් කිරීම සිදු කර ඇති අතර, නැගෙනහිර ඇනටෝලියානු කලාපයේ (Eastern Anatolian Region) කොන්සියුලර් බල ප්‍රදේශය ඇය යටතේ ආවරණය වනු ඇත.
​පත්වීම් ලිපිය ප්‍රදානය කිරීමෙන් අනතුරුව, තානාපති නිලූක කදුරුගමුව මහතා විසින් ඇයගේ ඉදිරි රාජකාරි පිළිබඳව දැනුවත් කරනු ලැබීය. විශේෂයෙන්ම වෙළඳ, ආයෝජන, සංචාරක සහ දෙරටේ ජනතාව අතර සබඳතා ප්‍රවර්ධනය කිරීම තුළින් ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඇයගෙන් අපේක්ෂිත කාර්යභාරය තානාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
​මීට අමතරව, එම කලාපයේ වෙසෙන හෝ සංචාරය කරන ශ්‍රී ලාංකික පුරවැසියන්ට අවශ්‍ය කොන්සියුලර් සහාය ලබාදීමේ වැදගත්කම පෙන්වා දුන් තානාපතිවරයා, මෙම නව පත්වීම තුළින් නැගෙනහිර ඇනටෝලියානු කලාපය සමඟ ශ්‍රී ලංකාව පවත්වන සබඳතා තවදුරටත් පුළුල් වනු ඇති බවට විශ්වාසය පළ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *