කිසිඳු කොන්දේසියකින් තොරව MCC ගිවිසුම ප්‍රතික්ෂේප කළ යුතුයි. – සභාපති මහාචාර්ය ලලිතසිරි ගුණරුවන්..

කිසිඳු කොන්දේසියකින් තොරව MCC ගිවිසුම ප්‍රතික්ෂේප කළ යුතු බව එම ගිවිසුම සමාලෝචනය කිරීමට පත් කළ කමිටුව යෝජනා කළ බව සභාපති කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා පවසයි.

ජූලි 03 වන දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති විශේෂ මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී සභාපතිවරයා පැවසූ මූලික කරුණ වනුයේ, ණයක් නොව ආධාරයක් ලෙසින් මෙය ක්‍රියාත්මක වන බවයි. නමුත් මින් පෙර ලබා ගත් ආධාර හා මෙම MCC ගිවිසුම හරහා ලබා දෙනු ලබන ආධාර සමාන නොවන ලෙස මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා එම මාධ්‍ය හමුවේදී සඳහන් කළේ ය. එමෙන්ම ලබා දී ඇති කොන්දේසි ගැටළු සහිත බවද ඔහු පැවසී ය.

MCC ගිවිසුම සම්බන්ධයෙන් රජයේ ආයතන මඟින් නිරීක්ෂණ වාර්තා දෙකක් ලබා දී ඇති බව සොයා ගත් බව සඳහන් කළ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා, ඉන් එක් වාර්තාවක් විදේශ කටයුතු අමාත්‍යංශය විසින්, එවකට සිටි නියෝජ්‍ය අමාත්‍යවරයාට දී ඇති බව කියා සිටියේ ය.

එම වාර්තාවට අනුව මෙය ක්‍රියාත්මක කිරීමේදී ජාතික ආරක්ෂාව පිළිබඳව අධ්‍යයනය කළ යුතුයි යන්න සඳහන් කර තිබුණු බව ද ඔහු ප්‍රකාශ කර සිටියේ ය.

“එසේම මෙම MCC ගිවිසුම ක්‍රියාත්මක කිරීමට යොදා ඇති ක්‍රමවේදය ශ්‍රී ලංකාවට පිළිගත හැක්කක් නොවේ. මෙහි මුදල් ගණුදෙනු කිරීමේ ක්‍රමවේදය ලංකාවේ සාමාන්‍ය විදේශ ගණුදෙනු කරනා ක්‍රමවේදයට පටහැනිය.”

එසේම මෙම වාර්තාව තුළ විවිධ කොන්දේසි ඇති අතර එම කොන්දේසි තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි, රටේ නීතිමය පද්ධතියට පටහැනි මෙන්ම මෙම ගිවිසුමේ අඩංගු වන නීති පාර්ලිමේන්තු පනතකින් රටේ නීති බවට සකස් විය යුතු බවට ද මෙහි ඇතුළත් කර තිබෙන බව ද මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා ප්‍රකාශ කර සිටියේ ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *