පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සනාතන සභාවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

0
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සනාතන සභාවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සනාතන සභාවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලය මෙන්ම සිසුන්, ස්ත්‍රී පුරුෂභාවය වැනි ලිංගිකත්වය මත පදනම් වූ හිරිහැරයන්ට හා ලිංගික හිංසනයන්ට ලක්වීම වැළැක්වීම සඳහා වූ ප්‍රතිපත්ති බලාත්මක කිරීමට සුදුසු පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සනාතන සභාවට උපදෙස් නිකුත් කර තිබෙනවා.

මෙම තීන්දුව දෙනු ලැබුවේ ප්‍රියන්ත ප්‍රනාන්දු, අචල වෙංගප්පුලි යන විනිසුරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා විසින්.

ඒ, ලිංගික හිංසනයට ලක් වූ බව කියන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ සේවය කරන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවයි.

පෙත්සම්කාරිය කථිකාචාර්යවරියක් වශයෙන් පරිවාස කාල සීමාවේ කටයුතු කරන අවස්ථාවේ ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

පෙත්සම ඉදිරිපත් කළ කථිකාචාර්යවරිය අදාළ වෛද්‍ය පීඨයේ පශ්චාත් උපාධිය හදාරමින් සිටි අවස්ථාවේ පළමුවන වගඋත්තරකාර මහාචාර්යවරයාගේ අධීක්ෂණය යටතේ කටයුතු කර ඇති අතර එහිදී 2017 වසරේ ජුලි මස 01 වනදා සහ 2018 වසරේ අප්‍රේල් මස 30 වන දා දක්වා කාල සීමාව තුළ පෙත්සම්කාරිය ලිංගික හිරිහැර සහ මානසික හිරිහැරවලට භාජනය වූ බව සඳහන් කරමින් ඇයගේ මව විසින් වග උත්තරකාර මහාචාර්යවරයාට එරෙහිව එම විශ්වවද්‍යාලයේ උප කුලපතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව එම චෝදනාව විභාග කිරීම සඳහා 2018 වසරේ සැප්තැම්බර් මස 26 වනදා විශ්වවිද්‍යාලයේ උපකුලපති විසින් පරීක්ෂණ කමිටුවක් පත් කර ඇති අතර වගඋත්තරකාර මහාචාර්යවරයාට එරෙහි චෝදනා විභාග කිරීමෙන් අනතුරුව ඇතැම් චෝදනාවලට ඔහු වරදකරු කළ බවයි තීන්දුවේ සඳහන් වන්නේ.

පසුව එම කමිටු වාර්තාව විශ්ව විද්‍යාලයේ පාලක කවුන්සිලයට ඉදිරිපත් කර ඇති නමුත් එම කවුන්සලය විසින් එය 2020 වසරේ මැයි මස 30 වනදා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පසුව මෙම තීරණයට එරෙහිව පෙත්සම්කාර කථිකාචාර්යවරිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි ඉදිරිපත් කළ අතර ඉන් පසුව තමන්ට සිදුවූ අසාධාරණය වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම් විභාගයේ දී මූලික විරෝධතා මතුකළ වගඋත්තරකරුවන් පෙත්සම්කාරිය මුල් අවස්ථාවේදී තමන්ට සිදුවූ අසාධාරණය වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට නොපැමිණි බැවින් ඇයගේ ඉල්ලීම කාලාවරෝධී වී ඇති බව ප්‍රකාශ කර තිබුණා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ජනක් ද සිල්වා මහතා කියා සිටියේ, වගඋත්තරකරුවන් ඉදිරිපත් කරන එම මූලික විරෝධතාවය අධිකරණය විසින් පිළිගැනීමට බල කෙරුණද සාධාරණ යැයි හැඟෙන නියෝග නිකුත් කිරීමට අධිකරණයට බලයක් පවතින බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1) උ ව්‍යවස්ථාව ප්‍රකාරව ඕනෑම පුරවැසියෙකුට තමන් කැමති රැකියාවක නිරත වීමට මූලික අයිතිය තහවුරු කර ඇති අතර ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව එම අයිතිය භුක්ති විඳීමට හැකියාව පවතින බව පෙන්වා දුන් විනිසුරුවරයා එවැනි ක්‍රියාවක නිරත වීමේදී ලිංගික හිංසනයන්ට භාජනය නොවී සිටීමට පරිසරයක් තිබිය යුතු බවත් පවසා සිටියා.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම විශ්වවිද්‍යාලයට සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට උපදෙස් කිහිපයක් නිකුත් කරනු ලැබුවා.

එහිදී පළමු වන වගඋත්තරකාර මහාචාර්යවරයා ඕනෑම විශ්වවිද්‍යාලයක අධ්‍යාපන ආයතනයක හෝ වෙනත් අධ්‍යාපන ආයතනයක වැටුප් ලබන හෝ වැටුප් රහිත ගෞරවනීය තනතුරක් පිළිගැනීම තහනම් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් උපදෙස් ලබා දී ඇති අතර වැටුප් සහිත හෝ වැටුප් රහිත හෝ ගෞරවනීය පත්වීමක් වගඋත්තරකාර මහාචාර්යවරයාට ලබාදීමෙන් වැළකී සිටීමටද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, සියලුම විශ්වවිද්‍යාල සහ එම විෂය පථයට අයත් අනෙකුත් ආයතන වෙත අධිකරණය විසින් තවත් උපදෙසක් නිකුත් කර තිබෙනවා.

ඊට අමතරව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලය හා සිසුන් ස්ත්‍රී පුරුෂ භාවය වැනි ලිංගිකත්වය මත පදනම් වූ හිරිහැරයන්ට, ලිංගික හිංසනයන්ට ලක්වීම වැළැක්වීම සඳහා වූ ප්‍රතිපත්ති බලාත්මක කිරීමට හා දැනුවත් කිරීමට සුදුසු පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම විශ්වවිද්‍යාලයේ සනාතන සභාවට වැඩිදුරටත් උපදෙස් ලබා දෙනු ලැබුවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com