ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය ගැන පොලීසියෙන් නිවේදනයක්

0
ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය ගැන පොලීසියෙන් නිවේදනයක්

ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය ගැන පොලීසියෙන් නිවේදනයක්

මහජනතාවගේ සාමකාමි ජිවිතයට, දෛනික කටයුතුවලට සහ අවට පදිංචිකරුවන්ට බාධාවක්, පීඩාවක් හෝ හිංසාවක් ඇතිවන ආකාරයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් සහ වෙනත් ශබ්ද උපකරණ භාවිතා කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී ඇති නියෝග සහ ශ්‍රී ලංකා පොලිසිය විසින් වරින් වර නිකුත් කරනු ලබන උපදෙස් හා මහජනතාව වෙත කරනු ලබන දැනුවත් කිරීම් අනුව කටයුතු කරන ලෙසත් ශ්‍රී ලංකා පොලිසිය මහජනතාව වෙත දැනුම් දී තිබේ.

මේ වන විට මෙම ශබ්ද දූෂණය ළදරුවන්, පාසල් දුවාදරුවන්, වැඩිහිටියන් හා රෝගීන් හට ශබ්ද දූෂණයකට එහා ගිය සෞඛ්‍ය සහ මානසික ගැටළුවක් බවට පරිවතනය වී ඇති බවට නිරීක්ෂණය වී ඇති බවයි පොලිසිය පවසයි.

තවද, ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක 38/2005 දරන නියෝගය අනුව, ඇම්ප්ලිෆය, ශබ්ද විකාශන යන්ත්‍ර හෝ වෙනත් ශබ්ද උපකරණ භාවිත කිරීමෙන් මහජනතාවට හෝ අවට පදිංචිකරුවන්ට අපහසුතාවක් හෝ යම් පීඩාවක් ඇතිවන විටදී, එය දණ්ඩ නීති සංග්‍රහයේ 261 වන වගන්තිය යටතේ මහජන පීඩාවක් ලෙස සලකා නීතියට අනුකුලව ක්‍රියාමාර්ග ගැනීමට පොලිසියට හැකියාව පවතින බවත් පොලිසිය පෙන්වා දෙයි.

ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය සඳහා අවසර ලබාදීම.

* පොලිස් ආඥාපනතේ ප්‍රතිපාදන යටතේ ශබ්ද විකාශන යන්ත්‍ර හෝ ශබ්දය වැඩි කිරීම සඳහා භාවිත කරන වෙනත් උපකරණ භාවිත කිරීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විශේෂ උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව, රාත්‍රී 10.00 සිට පසු දින පෙරවරු 06.00 දක්වා කාලය සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමට අවසර ලබා නොදිය යුතු අතර, ආගමික කටයුතු හෝ විශේෂ අවස්ථා සම්බන්ධයෙන් අදාළ කරුණු සලකා බලා නීතියට අනුකූලව අවසර ලබාදිය හැකියි.

අදාළ බලපත්‍රය නිකුත් කර ඇති අවස්ථා වලදී, බලපත්‍රයේ සඳහන් දිනය, වේලාව සහ අනෙකුත් සියලුම කොන්දේසි වලට දැඩිව අනුගත විය යුතුයි.

අවසර ලබාදී ඇති අවස්ථාවලදී අදාළ කාල සීමා

අදාළ පොලිස් අවසරය ලබාගෙන ඇති අවස්ථාවක, අවසර පත්‍රයේ සඳහන් කොන්දේසි වලට යටත්ව පහත කාල සීමාවන් තුළ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමට අවසර ලබාදී ඇති අවස්ථා තිබිය හැකියි.

සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා – රාත්‍රී 10.00 දක්වා

* සිකුරාදා සහ සෙනසුරාදා – අලුයම 01.00 දක්වා

ඉරිදා – අලුයම 12.30 දක්වා

මෙම වේලාවන් බලපත්‍රලාභින්ට ස්වයංක්‍රීයව හිමිවන අයිතියක් නොවන අතර, අදාළ අවස්ථාව සඳහා පොලිසිය විසින් නිකුත් කර ඇති බලපත්‍රයේ සඳහන් කොන්දේසි සහ අවසරයට යටත්ව පමණක් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කළ යුතු බවත්, ඒ සම්බන්ධයෙන් පොලිසිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

තවද, අවසරයක් ලබාදී තිබුණද, ශබ්දය අදාළ පරිශ්‍රයෙන් පිටතට ගොස් අවට පදිංචිකරුවන්ට හෝ මහජනතාවට කරදරයක් හෝ අපහසුතාවක් ඇතිවන ආකාරයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීම නොකළ යුතු බවත් පොලිසය පෙන්වා දෙනවා.

පෙරවරු 06.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විශේෂ අවස්ථාවක් සඳහා අවසර ලබාදී ඇති අවස්ථාවකදී ද, එම ශබ්දය අදාළ පරිශ්‍රයට සීමා වන ආකාරයෙන් පවත්වා ගෙන යාම සහ අවට ජනතාවට අනවශ්‍ය බාධාවක් ඇති නොවන බවට වග බලා ගැනීම අත්‍යවශ්‍ය වන බවයි නිවේදනයේ සඳහන් වන්නේ.

අවසර ලබාදී ඇති අවස්ථාවලදී එහි කොන්දේසි ක්‍රියාත්මක වන බවට වගබලා ගැනීම සඳහා ප්‍රමාණවත් පොලිස් නිලධාරීන් යොදවා අධීක්ෂණය කිරීමට ද පොලිසිය කටයුතු කරන අතර මහජනතාවගෙන් පැමිණිල්ලක් ලැබුණු අවස්ථාවකදී, අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂා කර ශබ්දය මහජන පීඩාවක් හෝ අපහසුතාවක් ඇති කරන බව තහවුරු වුවහොත්, එම ක්‍රියාව නතර කරන ලෙස අදාළ පුද්ගලයන්ට දැනුම් දීමට පොලිසිය කටයුතු කරන බවත් නිවේදනයේ සඳහන්.

එම දැනුම්දීම නොතකා අදාළ ක්‍රියාව තවදුරටත් සිදු කරන්නේ නම්, පවතින නීතිමය විධිවිධාන අනුව ශබ්ද උපකරණ පොලිස් භාරයට ගැනීම ඇතුළු අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලිසිය කටයුතු කරන බව පොලිසිය පවසනවා.

නීති විරෝධි ලෙස හෝ මහජනතාවට පීඩාවක් වන ආකාරයෙන් අධික ශබ්දයක් නිකුත් කරන අවස්ථාවක් පිළිබඳව කිසියම් පුද්ගලයෙකුට අපහසුතාවක් ඇති වන්නේ නම්, ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ හදිසි ඇමුතුම් අංක 118,119 වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මහජනතාවගේ සාමය, නිදහස සහ දෛනික ජිවිතයට බාධාවක් නොවන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර හා ඇම්ප්ලිෆයර් භාවිතකිරීම සියලු දෙනාගේ වගකීමක් වන අතර, අදාළ නීතිමය විධිවිධාන සහ අවසර කොන්දේසි උල්ලංඝනය කරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතියට අනුකූලව අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබන බව ශ්‍රී ලංකා පොලිසිය අවධාරණය කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *