ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් මට්ටම ඉහළට

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් මට්ටම ඉහළට
ශ්‍රී ලංකාවේ දිගුකාලීන සහ කෙටි කාලීන විදේශ මුදල් ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම SD මට්ටමේ සිට CCC+/C මට්ටම දක්වා උසස් කර ඇති බවත් දිගුකාලීන සහ කෙටිකාලීන දේශීය ණය ශ්‍රේණිගත කිරීම CCC+/C මට්ටමේම පවත්වාගෙන යෑමට තීරණය කර ඇති බව S&P ග්ලෝබල් රේටින්ස් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ශ්‍රී ලංකාව පිළිබඳ මෙම ශ්‍රේණිගත කිරීම් සඳහා රටේ ශක්තිමත් ආර්ථික ප්‍රකෘතිය, වේගවත් මූල්‍ය ඒකාබද්ධතාවය සහ ප්‍රතිසංස්කරණ, වැඩිදියුණු වන ගෙවුම් ශේෂ තත්ත්වය සහ රාජ්‍ය ව්‍යවසායන්ගෙන් මූල්‍ය අවදානම් අඩුකිරීමේ තිරසාර ප්‍රගතිය යන කරුණු සැලකිල්ලට ගත් බවද සඳහන් කරයි.
මේ අතර විදේශ මුදල්වලින් මෙරටට නිකුත් කරන ලද දිගුකාලීන ණය ආපසු ගෙවීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව පිළිබඳ වූ ශ්‍රේණිගත කිරීම CCC+ මට්ටමේම පවත්වාගෙන යෑමට තීරණය කර ඇති බව ෆිච් රේටින්ස් ආයතනය සඳහන් කරයි.
ශ්‍රී ලංකාව 2024 වසරේදී ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කළද රජයේ සාමාන්‍ය ණයබරතාවය ඉහළයාම සහ ඉහළ පොලී-ආදායම් අනුපාතය හේතුවෙන් මෙම ශ්‍රේණිගත කිරීම පැවති CCC+ මට්ටමේම පවත්වාගෙන යෑමට හේතු වූ බවද සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ආයතන පළකරන ධනාත්මක ප්‍රතිචාර සහ ශ්‍රේණිගත කිරිම් හමුවේ දේශිය සහ විදේශීය ආයෝජකයින්ගේ විශ්වාසය ඉහළ ගොස් ඇත.