සති අන්තයේ රට පුරා විදුලිය බිඳ වැටීමෙන් දවස් 3ක් පැයක විදුලි කප්පාදුවක්
සති අන්තයේ රට පුරා විදුලිය බිඳ වැටීමට හේතු වූයේ, නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ඇති වූ ගැටලුවක් බවට දැනට හඳුනාගෙන ඇතැයි වරාය, සිවිල් ගුවන් සේවා හා බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක බීබීසී සිංහල සේවයට පැවසීය.
ගැටලුව ඇති වූයේ, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ බවට හඳුනාගනු ලැබුව ද ඊට හේතුව මෙතෙක් සොයා ගෙන නොමැති බව ද අමාත්යවරයා සඳහන් කළේ ය.
“හේතුව තව ම නිශ්චිතව අඳුරගෙන නැහැ. ටෙක්නිකල් ඩීටේල්ස් ඇනලයිස් කරලා තමයි තේරුම් ගන්න වෙන්නේ. ඒක මේ වෙනකොට ඉංජිනේරුවන් ඇනලයිස් කරගෙන යනවා. ඉනීෂියේට් වුණ තැන පැහැදිලි නොරොච්චෝලේ කියන එක, හැබැයි මොන හේතුව නිසා වුණා ද කියන එක තව ම පැහැදිලි නැහැ.”
රට පුරා විදුලිය බිඳ වැටීම පැය 7කට අධික කාලයක් පැවති අතර ක්රම ක්රමයෙන් පද්ධතිය යථාතත්ත්වය පත් කිරීමට කටයුතු කළ අතර එදින රාත්රී 9.40 පමණ වන විට සම්පූර්ණයෙන් ම විදුලිය ලබා දීමට හැකි වූ බව ද අමාත්යවරයා පැවසීය.
නොරොච්චෝලේ බලාගාරය අක්රීය වුණේ ඇයි?
ඔක්තෝබර් 17 වන සෙනසුරාදා පෙරවරු 11.43ට පමණ ජාතික විදුලි බල පද්ධතියෙන් ජනන යන්ත්රයක් ඉවත්වීමත් සමග ඇති වූ අසමතුලිතතාව හේතුවෙන් තත්පර 30කට අඩු කාලයකදී මුළු දිවයිනට ම බලපාන පරිදි පද්ධතියේ බිඳ වැටීමක් සිදුවූ බව ජාතික පද්ධති ක්රියාකරු නිවේදනය කළේ ය.
එම තත්ත්වය යථාවත් කිරීමේ කටයුතු ඉතා කෙටි කාලයක් තුළ ආරම්භ කිරීමට ජාතික පද්ධති ක්රියාකරු පෞද්ගලික සමාගම කටයුතු කළ අතර, ඒ අනුව දහවල් 12.11 වන විට ප්රධාන ජල විදුලි ජනන යන්ත්ර පද්ධතියට එකතු කරමින් පද්ධතිය වෙන් වෙන් වශයෙන් කොටස් හතරක් යටතේ සමගාමීව පණ ගැන්වීමට කටයුතු කළ බව එම නිවේදනයේ දැක්වේ.
හදිසි විදුලි බිඳ වැටීම හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස අක්රීය කරනු ලැබූ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය දින කිහිපයක් යන තෙක් පද්ධතියට සම්බන්ධ නොකරන බව ජාතික පද්ධති ක්රියාකරු පෞද්ගලික සමාගම පවසයි.
‘තව ද, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය, මෙවැනි තත්ත්වයක් යටතේ මුහුණ දෙන සාමාන්ය ආරක්ෂක ක්රමවේදවලට යොමු වී ඇති බැවින්, දින කිහිපයක් යන තෙක් පද්ධතියට නැවත සම්බන්ධ නොකෙරෙනු ඇත. එම නිසා පද්ධතියට අහිමි වන මෙගාවොට් 810ක ධාරිතාව නිසා ඉදිරි දින කිහිපයේදී පාරිභෝගික ජනතාවට අවම බලපෑමක් වන ලෙස විදුලි සැපයුම නිසි කළමනාකරණයකින් යුතුව සැපයීමට ජාතික පද්ධති ක්රියාකරු ලෙස කටයුතු සම්පාදනය කර ඇත.’
