කුවේට් සිට කටුනායක එන ගුවන් යානයකදී ශ්රී ලාංකික කාන්තාවක් දරුවෙකු ප්රසූත කරයි
කුවේට් රාජ්යයේ සිට කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපොළ බලා පැමිණෙමින් තිබූ මගී ගුවන් යානයක් තුළදී ශ්රී ලාංකික කාන්තාවක් පිරිමි දරුවෙකු ප්රසූත කර තිබෙනවා.
අද (19) අලුයම මෙලෙස ගුවනේදීම දරුවෙකු බිහි කර ඇත්තේ ත්රිකුණාමලය ප්රදේශයේ පදිංචි 30 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය 2024 වසරේදී ගෘහ සේවිකාවක ලෙස රැකියාව සඳහා කුවේට් රාජ්යය වෙත ගොස් තිබුණා.
අද අලුයම 2.52 ට කුවේට් සිටි ගුවන් තොටුපොළෙන් පිටත් වූ ‘ජසීරා එයාර්වේස්’ (Jazeera Airways) ගුවන් සේවයට අයත් J9-551 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණෙමින් සිටියදී ඇයට ප්රසව වේදනා හටගෙන තිබුණා.
ඒ අනුව, ගුවන් යානයේ සේවය කළ ගුවන් සේවිකාවන්ගේ ක්ෂණික සහාය ඇතිව ඇය ගුවනේදීම මෙම පිරිමි දරුවා ප්රසූත කර තිබෙන බවයි වාර්තා වන්නේ.
සිදුවූ දරු ප්රසූතිය පිළිබඳව ගුවන් නියමුවා විසින් කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් වෙත කල්තියා දැනුවත් කිරීමට පියවර ගෙන තිබූ අතර ගුවන් යානය කටුනායකට ගොඩබැස්වීමත් සමඟම මවට සහ බිළිඳාට අවශ්ය හදිසි වෛද්ය ප්රතිකාර ලබාදීම සඳහා ගිලන් රථයක් ඇතුළු විශේෂ වෛද්ය කණ්ඩායමක් ගුවන් යානය අසල සූදානම් කර තැබීමට ගුවන් තොටුපොළ බලධාරීන් කටයුතු කළා.
අනතුරුව මව සහ අලුත උපන් බිළිඳා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇති අතර එම මව සහ අලුත උපන් බිළිඳා යහපත් සෞඛ්ය තත්ත්වයෙන් පසුවන බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.
