දිනෙන් දින වළ පල්ලට යන ශ්‍රි ලංකා ක්‍රිකට්

ශ්‍රි ලංකාව සහ එංගලන්තය අතර පැවැත් වූ විස්සයි විස්ස තරගාවලියෙන් තරග 3-0ක් ලෙස අන්ත පරාජයක් ලබන්නට ශ්‍රි ලංකා ක්‍රිකට් කන්ඩායමට සිදු විය. ඒ අනුව එංගලන්තය තරගාවලියේ තරග තුනම පහසුවෙන් ජයග්‍රහණය කළහ.

සුපුරුදු පරිදි ශ්‍රි ලංකා කන්ඩායමේ දියාරු පිතිකරන රටාව තරඟයේ පරාජයන්වලට ඍජුවම බලපෑවේ ය.

නව තේරිම් කමිටුවක් පත් විය. ක්‍රිකට් වෙනුවෙන්ම ක්‍රිකට් කමිටුවක් පත් විය. ලෝකයේ නම ගිය පුහුණුකරුවෙක් වන 2007 ශ්‍රි ලංකා ලෝක කුසලාන කන්ඩායමේ පුහුණුකරු ටොම් මූඩි මහතා ශ්‍රි ලංකා ක්‍රිකට් ගොඩ ගැනීම වෙනුවෙන් ඉහළ වැටුපකට ලංකාවට රැගෙන ආවේ අධ්‍යක්ෂ තනතුරක් පිරිනමමිනි. එසේම ශ්‍රි ලංකා කන්ඩායමේ වර්තමාන පුහුණුකරු මීට පෙර ශූරයින්ගේ කුසලානය ජයග්‍රහණය කළ පකිස්තාන ක්‍රිකට් කන්ඩායමේ පුහුණුකරුවා ය.

එය එසේ තිබියදි එක් අතෙකින් ක්‍රීඩක වැටුප් කොන්ත්‍රාත්තුව පිළිබඳ ගැටළුය… නායකත්වය තේරිම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පත් කරන්නේ තරගාවලි දෙකක් සදහාය. කෙසේ නමුත් පකිස්තාන තරගාවලි ජයග්‍රහණයෙන් පසු ශ්‍රි ලංකා ක්‍රිකට් කන්ඩායම විස්සයි විස්ස තරගාවලියක් මේ වෙනතුරු ජයගෙන නැත.

එසේම ඉතිහාසයේ ප්‍රථම වතාවට බංග්ලාදේශ කන්ඩායම හමුවේ බංගලාදේශයේදීම එක්දින තරගාවලියක් පරාජයට පත් වන්නට අපට සිදු විය.

ශ්‍රි ලංකා ක්‍රිකට් අගාදයට 2015 සිට පැවති රජයන් මෙන්ම එකල සිට ක්‍රිකට් වෙනුවෙන් ප්‍රමුඛතාව දුන් සියළු බලධාරීන්ද වගකිව යුතුය. ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ද තරුණ කන්ඩායමක් කියමින් රැගෙන යන්නේ කුසල් මෙන්ඩිස් වැනි වයසින් ලාබාල නමුත් ජාත්‍යන්තර පිටියේ අත්දැකීම් තියෙන ක්‍රීඩකයින් ය. ඇන්ජලෝ මැතිව්ස්, චන්දිමාල් වැනි ක්‍රීඩකයින් ඉවත් කිරීම සම්බන්ධයෙන් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ තේරිම් කමිටු සභාපතිතුමා පවසන්නේ ඔහුන් වසර ගණනක් ක්‍රීඩා කළ නමුත් එයින් ශ්‍රි ලංකා ක්‍රිකට්වලට ප්‍රගතියක් නොවූ බවය. එසේ නමුත් කුසල් මෙන්ඩිස්, දනංජය ද සිල්වා, කුසල් පෙරේරා සේම කිහිප දෙනෙක් හැර අන් සියල්ලන්ම ඇන්ජලෝ මැතිව්ස්ලා මෙන්ම මේ ක්‍රිකට් තුළ සිටි අය තෝරාගෙන මෙම සංචිතයේ ඉඩ දුන්නේ ඔවුන් ක්‍රීඩා කළ කාලයේ ශ්‍රි ලංකා ක්‍රිකට්වලට ප්‍රගතියක් වූවාදැයි ගැටළුවකි. මන්ද කුසල් පෙරේරා කුසල් මෙන්ඩිස් සේම මෙම එංගලන්ත සංචාරයට ගිය බොහොමයක් ක්‍රීඩකයින් ඇන්ජලෝ මැතිව්ස්, චන්දිමාල්ලා සේම සමකාලීන ක්‍රීඩාව වෙනුවෙන් ක්‍රීඩා කළ ක්‍රීඩකයින්ය. ඇන්ජලෝලාට බෙදන හැන්ද කුසල් මෙන්ඩිස්ලාට නැත්තේ ඇයි දැයි දන්නේ තේරිම් කමිටුව සහ අදාල බලධාරීන් පමණි.

කෙසේ නමුත් ශ්‍රි ලංකා ක්‍රිකට් වෙනුවෙන් රජය කෝටි ප්‍රකෝටි ගණන් මුදල් නාස්ති කරද්දි ක්‍රීඩකයින්ද අද වනවිට එහි කොටස්කාරයින් වී ඇත. ක්‍රිකට් හදනවා යැයි කියමින් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ගේ වැඩක් නැහැ. අපි අලුත් ළමයි හදනවා යැයි කියමින් ශ්‍රි ලංකා ක්‍රිකට් අගාදයටම දායක වූ පිරිසක් රැගෙන විටෙන් විට විවිධ ස්වභාවයෙන් මේ නාස්ති කරන්නේ ජනතාවගේ මුදල්ය. එදා අර්ජුන රණතුංග ඇතුළු පිරිස අරන් දුන්, ඉන් පසුව ක්‍රීඩා කළ සංගා, මහේල, මාලිංගලා, කුලේලා, දිල්ශාන්ලාගේ පරපුර වෙන තුරු රැක දුන් ඒ අභිමානවත් නම්බුවය.

අවසානයේ කීමට ඇත්තේ වර්තමාන ආණ්ඩුව සේම ශ්‍රි ලංකා ක්‍රිකට්ද ගොඩ ගන්නවා යැයි කියා රඟපාන මෙම නාඩගම අද වෙනවිට තනිකර පුස්සක් වී ඇති බව රටට ලෝකයට හෙලි වී ඇති බවයි.

ශ්‍රි ලංකා ක්‍රිකට් ගොඩ ඒමක් තවමත් පෙනෙන්නටවත් නැත.
-Lankatruth

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *