සුමන්තිරන්ව බේරාගත් අගමැති මහින්ද රාජපක්ෂ: මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සුමන්තිරන් එක්ක ඇරියස් ද?

කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේදී පසුගියදා සිදුවූ රිය අනතුරක් ‌මුල්කරගෙන දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා හට මුහුණ දීමට සිදුව තිබූ ඇබැද්දියකින් ඒ මහතා මුදාගැනීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු ‌කොට ඇත.

වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.

රිය අනතුරින් සුමන්තිරන් මහතාට හානියක් සිදු නොවුණද ඒ මහතාගේ රථයට සහ අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටට බරපතළ හානි සිදුව තිබී ඇත.

ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ අනතුරට මුහුණ දී සිටින්නේ සුමන්තිරන් මහතා බව හදුනාගෙන ඒ මහතා රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට කටයුතු කොට ඇත.

මෙහිදී සුමන්තිරන් මහතා තමන්ට කල්මුණේ උසාවියේ නඩුවකට පෙනී සිටීමට ඇති බවත්, ඒ අනුව සිය රියැදුරා සිටියදී තමන් නිදහස් කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට දැනුම් දීී තිබුණද ඔවුන් ඒ කිසිවක් කනකට නොගෙන තවදුරටත් සුමන්තිරන් මන්ත්‍රීවරයා රදවා තබා ගැනීමට පියවර ගෙන ඇත.

පසුව සුමන්තිරන් මන්ත්‍රීවරයා තමන් දන්නා කියන දමිළ මාධ්‍යවේදියකුට මේ බව දැනුම් දීමෙන් පසු අදාළ මාධ්‍යවේදියා ඒ බව වහාම අගමැති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දීමට පියවර ගෙන ඇත.

සිද්ධිය වාර්තා වූ සැණින් අගමැතිවරයා අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට කතා කොට සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලන ලෙස දැනුම් දීමක් කර තිබේ.

ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාද වහාම සිද්ධිය වූ ස්ථානයේ සිටි මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට කතා කොට මන්ත්‍රීවරයා වහාම නිදහස් කරන ලෙසට උපදෙස් ලබා දී ඇත.

එමෙන්ම සුමන්තිරන් මහතා අපහසුතාවට ලක්වන අන්දමින් හැසිරී ඇති නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීමටද අමාත්‍යවරයා පියවර ගෙන ඇති බව පැවසේ.

මෙම මැදිහත් වීම හේතුවෙන් පසුව සුමන්තිරන් මහතාට නියමිත වේලාවට කල්මුණේ උසාවියට යාමට හැකිව ඇති බවද වාර්තා වේ.

කෙසේවෙතත් තමන් අනවශ්‍ය කරදරයක පැටලී සිටියදී උපකාර කිරීම සම්බන්ධයෙන් පසුව සුමන්තිරන් මහතා ජොන්ස්ටන් අමාත්‍යවරයාටත්, අගමැතිවරයාටත් ස්තූති කොට ඇති බවද දැනගන්නට ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *