මේ ආණ්ඩුව බොරු වපුරන ආණ්ඩුවක්… MCC ගැන අදහස් විමසන්නේ මැතිවරණය අවසන්වන තුරු කල්මරන්නයි…

0

වත්මන් රාජපක්ෂ ආණ්ඩුව බොරු වපුරන ආණ්ඩුවක් බවත් MCC ගැන ඇමතිවරුන්ගෙන් අදහස් විමසන්නේ මැතිවරණය අවසන්වන තුරු කල්මැරීමට බවත් ජාතික ජන බලවේගය ජුලි 02 වන දින පෙරවරුවේ පැලවත්ත බත්තරමුල්ල හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අවධාරණය කළේ ය.

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා…

“ජනාධිපතිවරණයේදී ජනතාව රවටපු ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයල දැන් නැවත මහ මැතිවරණයේදීත් ඒකම කරන්න හදනවා. පොරොන්දු එකක්වත් ඉටුකරල නැහැ. කියූ දේවලට පටහැනි දේ තමයි දැක් කරමින් ඉන්නේ. ජනාධිපතිවරණයේදී අපි දැක්ක ගෝඨාභය මහත්තයාගේ වේදිකාවේ යම් පමණකට විද්වතුන් ඉන්නවා. දැන් ඉන්නේ නිශ්ශංක සේනාධිපතිලා වගේ පල් හොරු. අද එම පල් හොරුන්ගෙන් රැකවරණය ලැබීමට තරම් මාස 8ක් වැනි කෙටි කාලය තුළ රටේ ආණ්ඩුව පහතට වැටිලා.

මහින්ද මහත්තය දැන් කියනව ලොකු චිත්‍රය දිහා බලන්නලු. කුඩා කෑලි දිහා බලන්න එපාලු. කුඩා කුඩා කෑලිවලින් තමයි ලොකු චිත්‍රය හැදෙන්නේ. මේ කියන්නේ කරපු බරපතල වැරදි ගණන් ගන්න එපා කියලයි. ඔහු කියනව රට ගැන හිතන්නලු. ක්‍රිකට් පාවාදීම, කරුණාගේ ප්‍රකාශය, තොණ්ඩමන්ගේ මළ ගෙදර මේවා රටට බලපාන්නේ නැද්ද? රට කියන්නේ මැදමුලන කියල හිතාගෙනද දන්නේ නැහැ රාජපක්‍ෂවරු මේ වගේ කතා කියන්නේ. රටේ සුපිරි ගණයේ දේශප්‍රේමීන් කියල තමයි මේ ගොල්ලො පෙන්නගෙන ඉන්නේ. මේ ගොල්ලො අද රට විකුණන ගිවිසුම් ගහල ඇමරිකාවට, ඉන්දියාවට, චීනයට රට යටකරගෙන යනවා. ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට බරපතල හානි පමුණුවන පියවර අද ගනිමින් ඉන්නවා.

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය දැන් ඉන්දියාවට දෙන්න යනවා. දැන් වරාය සේවකයෝ තුන් දෙනෙක් ඊට එරෙහිව උපවාසයක් ආරම්භ කරලා. නැගෙනහිර ජැටියට ගෙනාපු දොඹකර ගොඩබාන්නෙ නැතිව හිරකරගෙන ඉන්නවා. මේ වනවිට සිදුවී ඇති නැව් ප්‍රමාද ගාස්තුව රු. කෝටි 10කට වැඩියි. කොළඹ වරායට දැන් තිබෙන්නේ නැගෙනහිර ජැටිය පමණයි. මේක සංවර්ධනය කරල ආදායම් උපයනව වෙනුවට ඉන්දියානු සමාගමකට දෙන්න යනවා. වරාය සේවකයෝ කියනව අපිට පුළුවන් මේක කරන්න කියලා. ගෙනාපු දොඹකර හයිකරන්න අපිට දෙන්න කියලා. නමුත් ආණ්ඩුව ඉන්දියානු බලපෑමට යටත්වෙලා ඒක නොකර ඉන්නවා. මොකද දොඹකර හයිකරල වරායේ සේවකයො වැඩ පටන් ගත්තොත් නැගෙනහිර ජැටිය ඉන්දියාවට ගන්න අපහසු වන නිසා. ඉන්දියාවේ අදානි කියන සමාගමට තමයි මේක දෙන්න යන්නේ. දැනට ලංකාව සතුව තියෙන එකම ප්‍රධාන ජැටිය තමයි නැගෙනහිර ජැටිය. අඩුම තරමේ වරායක ජැටියක්වත් සංවර්ධනය කරන්න බැරි තරමට මේ ආණ්ඩුව දුර්වල වෙලා. බෙලහීන වෙලා. හම්බන්තොට වරාය එජාප ආණ්ඩුව වික්කා. ඒක තමන් දිනපු ගමන් ගන්නව කියලා රාජපක්‍ෂවරු කිවුවා. ගිවිසුම ඉරනවා කිවුවා. එහෙම කියලා දැන් කොළඹ වරායත් විකුණන්න යනවා. රටක ආරක්‍ෂාවට තිබෙන ප්‍රධාන මර්මස්ථාන මෙහෙම විදේශවලට දෙනවා නම් ඒ රටේ ආරක්‍ෂාව ගැන කවර කථාද? ගෝඨාභය ජනාධිපතිවරයා ජනාධිපතිවරණයේදී පාවිච්චි කළ ප්‍රධානතම මාතෘකාව වූයේත් ජාතික ආරක්‍ෂාවයි. ගෝලබාලයෝ කිවුවේ ඒකමයි. අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ගැන මොරදීපු හාදයෝ දැන් මොනවද මේව ගැන කියන්නේ? මේ ගොල්ලන්ටද දේශප්‍රේමීන් කියන්නේ?

අද වරාය සේවකයෝ පක්‍ෂ භේදයකින් තොරව මේ විකිණීමට එරෙහිව සටනට ඇවිල්ලා. ඒ සටනට ජාතික ජන බලවේගයේ අපි පූර්ණ සහාය දෙනවා. ගෙනාපු දොඹකර සවිකරල වරාය අධිකාරිය යටතේම මෙය පවත්වාගෙන යන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා. පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේ තවත් ප්‍රධාන මාතෘකාවක් වුණේ එම්.සී.සී. ගිවිසුම ගැහුවොත් ලංකාවේ ඉඳලා වැඩක් නැහැ කියලා. ගෝඨාභය රාජපක්ෂ කිවුවේ එම්.සී.සී එක ගැන එයාට අවබෝධයක් නැහැ කියලා. ඒ ගැන හොයන්න කමිටුවක් පත්කළා. එහෙනම් ජනාධිපතිවරණයේදී මේ ගැන ඝෝෂා කළේ අවබෝධයක් නැතිවද? දැන් ගුණරුවන් වාර්තාව ඇවිල්ලා. එම්.සී.සී. ගිවිසුම රටට හානිකරයි කියලා ඒකේ කියනවා. ඇයි දැන් ගෝඨාභය රාජපක්ෂට කියන්න බැරි මේක අහෝසි කරනවා කියලා. දැන් ඊට එරෙහිව ජන වරමකුත් ලැබිලා තියෙන්නේ. දැන් කියනව මේ ගැන නැවත වරක් මහජන මතය බලන්න ඕනලු. මේ කරන්න මත බල බල ඇද ඇද ඉන්න එක. එහෙම ඉඳල මහ මැතිවරණයෙන් පස්සේ ගිවිසුම අත්සන් කරන්නයි මේ සූදානම.

අද පත්තරවල තිබෙනව එම්.සී.සී. එක ගැන කැබිනට් ඇමතිවරුන්ගේ අදහස් වෙන වෙනම දෙන්න අගැමතිවරයා කරපු ඉල්ලීමක්. මොනතරම් විහිළුද මේ. මෙ සියලු උප්පරවැට්ටි යොදන්නේ ඡන්දෙ ඉවර වෙනකම් කල් මරන්න. මේ ගිවිසුම අත්සන් කළොත් ආණ්ඩුවට ඩොලර් මිලියන 480ක් ලැබෙනවා. ඒකට කෙළ හලමින් තමයි අද රාජපක්‍ෂවරු ඉන්නේ. ඩොලර් මිලියන 480කට රටම උගසට තබන්න තමයි මේ හදන්නේ.

මේ ගිවිසුමෙන් අපේ රටේ ඉඩම්වලට පවා අත පොවන්න ඇමරිකාවට ඉඩ ලැබෙනවා. දැනටමත් වනාන්තර ආරක්‍ෂණ චක්‍රලේඛ මේ ආණ්ඩුව අහෝසි කරගෙන යනවා. ගිවිසුමට සමගාමීව කරන පූර්ව වැඩ ටික තමයි මේ කරමින් ඉන්නේ. ඔය කියන තරම් දේශප්‍රේමීන් නම් ගෝඨාභය මහත්තයට එක ලිපියකින් පුළුවං මේ ගිවිසුම අහෝසි කරන්න. ඒකට නීතිමය බාධාවක් නැහැ. ඒ වෙනුවට දැන් රාපක්‍ෂ පවුලේ බැලයෝ කියනවා 2/3ක් ඕනලු එක් අහෝසි කරන්න. මේ පාලකයන්ගේ හෙළුව දැන් ඕනෑවටත් වඩා රටේ ජනතාව දැකලා හමාරයි. මේ ගොල්ලන්ට පුළුවන් රට විකුණන්නයි වනසන්නයි පමණක් බව දැන් හොඳටම ඔප්පු වෙලා ඉවරයි. මේකෙන් රට ගලවගන්න නම් රටේ පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් ජාතික ජන බලවේගය ශක්තිමත් කළ යුතුයි කියලා අපි කියනවා. ඒ සඳහා සුදුසු එකම බලවේගය ජාතික ජන බලවේගයයි. ඒ සඳහා ජාතික ජන බලවේගයේ අපේක්‍ෂකයෝ වැඩි වැඩියෙන් මෙවර මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට යවන්න කියලා අපි රටේ ජනතාවගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා.”

ජාති, ආගම්, කුලභේද, නැති එකම බලවේගය ජාතික ජන බලවේගයයි
මුනීර් මුලප්පර් – සිවිල් සංවිධාන ක්‍රියාකාරී

“නිදහසින් පස්සේ මැතිවරණ පොරොන්දු කියා රටේ පාලකයෝ අපිට දුන්නෙ තනිකරම මිත්‍යාව. ඔවුන් බොරුව සමාජගත කළා. රටේ සැබෑ හතුරා පසෙක සිටියදී ඔවුන් ජාතිකත්වය අතර ගැටුම් ඇතිකළා. කුඩා වාසි ගැන නොසිතා රට ගැන හිතල තීරණයක් ගන්න කියලා මෙවර මැතිවරණයේදී අපි මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ශ්‍රී ලාංකික සියලු ජනතාවගෙන්ද අපි ඉල්ලා සිටිනවා. සමහර මුස්ලිම් නායකයෝ කියනවා දිනන පිළකට ඡන්දය දීලා තමයි මුස්ලිම් ජනතාවට යමක් දිනාගන්න පුළුවන් කියලා. ඉතිහාසය පුරාම කළේ ඒ බොරුව. අපිට මොනවද ලැබුණේ. ඒ අයටනම් ලැබුණා. මේ අය ඡන්දයට එන්නේ රට ගැන, ජනතාව ගැන හිතල නෙවෙයි. තමන් ගැන තිතලා.

අද ජාති, ආගම්, කුලභේද, නැති එකම බලවේගය තමයි ජාතික ජන බලවේගය. විවිධ ජාතිකත්ව සහ විවිධ පාර්ශ්වවල අය අද එකම අරමුණකට එක්කොට ඇති වේදිකාව තමයි මාලිමා ලකුණ පෙරටු කොටගෙන තිබෙන ජාතික ජන බලවේගයේ වේදිකාව. කිසිදු භේදයකින් තොරව අපි කාටත් එකට හිටගත හැකි තැන එතැනයි. ඔබ ඔබේ රටට, රටේ ජනතාවට, ඔබේ දරුවාට අවංකවම ආදරය කරනවා නම් මේ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ අපේක්‍ෂකයන් හැකි තරම් පාර්ලිමේන්තුවට යවන්න කියලා ඉල්ලා හිටිනවා.”

අනුර කරුණාතිලක – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කැළණිය විශ්වවිද්‍යාලය

“ගංවතුරක්, සුනාමියක්, වසංගතයක් ආවම අද රටේ මිනිස්සු කියන්න පුරුදුවෙලා ඉන්නවා පාර්ලිමේන්තුව් 225ට තමයි මේවා වෙන්න ඕනෑ කියලා. ඒකෙන් කියන්නේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්‍ෂේප කරල කියන එක නෙවෙයි. රටේ දේශපාලකයින් රටට දී තිබෙන ආදර්ශය ඒකෙන්ම මැන ගන්න පුළුවන්. ඒකෙන් ජනතාව අදහස් කරන්නේ සමාජ යහපත වෙනුවෙන් කටයුතු කරන පාර්ලිමේන්තුවක උවමනාවයි. අද බඩුමිල අහස උසට නගිනවා අද හොර දේශප්‍රේමියෝ ඒ ගැන කටක් අරින්නේ නැහැ.

රටේ ස්වෛරීත්වය, රටේ සම්පත් රැකගැනීමට හදවතට එකඟව කටයුතු කරන, ඒ ගැන ඇත්ත වුවමනාවක් තිබෙන මන්ත්‍රීවරු තමයි පාර්ලිමේන්තුවට යවන්න ඕනෑ. එජාපයෙන්, ශ්‍රීලනිපයෙන් පොදුජන පෙරමුණෙන් එය ඉටු නොවන බව දැන් සක්සුදක් සේ පැහැදිලියි. එය ඉටුකරගත හැක්කේ ජාතික ජන බලවේගය දිනවීමෙන් පමණක් බව අපි රටේ ජනතාවට දැඩිව අවධාරණය කරනවා.”

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්….

“රටක නිෂ්පාදනය වැඩි නොකර මුදල් අච්චු ගැහුවම උද්ධමනය වැඩිවන බව ආර්ථික විද්‍යාව ගැන ටිකක් හෝ අවබෝධය තිබෙන අය දන්නවා. මේ ආණ්ඩුවට එහෙම අවබෝදයක් නැහැ. රටේ ආර්ථික අර්බුදයට, මූල්‍ය අර්බුදයට මේ ආණ්ඩු උත්තර හොයන්නේ සල්ලි අච්චු ගහලා, භාණ්ඩ හා සේවාවලට බදු ගහල, රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් පරිත්‍යාග ඉල්ලලා, නැත්නම් රටට හානිකර ගිවිසුම් ගහලා. මේ ඔක්කොටම ව්‍යාජ උත්තර.

සරත් වීරසේකර කොටි පැරදුව කියල මහින්ද වෙනුවෙන් කොළඹින් ඡන්දෙ ඉල්ලනවා. කරුණා හමුදාව මැරුව කියල නැගෙනහිරින් දෙමළ ඡන්ද ඉල්ලනව මහින්ද වෙනුවෙන්. මේ තක්කඩි සූදුව කරන ගමන් කරුණාටත් සුදු හුණුත් ගානවා. එහෙම කරන්න පුළුවන්ද? ඒ නිසා මේ තක්කඩියන්ගේ පිළිකුල් සහගත දේශපාලන සූදුව දැන්වත් ජනතාව තේරුම් ගත යුතුව තිබෙනවා.”
-lankatruth-

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com