ලොව වේගයෙන්ම වර්ධනය වන සංචාරක ආර්ථිකයන් 10 අතරට ශ්‍රී ලංකාවත්

0

​ලෝක ආර්ථික සංසදයේ (World Economic Forum) 2026 සංචාරක සහ ගමනාගමන සංවර්ධන දර්ශකයට (TTDI) අනුව, ලොව වේගයෙන්ම වර්ධනය වන සංචාරක ආර්ථිකයන් සහිත රටවල් 10 අතරට ශ්‍රී ලංකාව තේරී පත්ව ඇත.
​නවතම දර්ශකයට අනුව, 2024 සහ 2026 අතර කාලය තුළ ශ්‍රී ලංකාවේ TTDI ලකුණු ප්‍රමාණය 4.3%ක වර්ධනයක් වාර්තා කර ඇති අතර, එම කාලසීමාව තුළ ඉහළම වර්ධනයක් පෙන්නුම් කළ රටවල් අතර 10 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබේ.
​එහිදී 7%ක වර්ධනයක් වාර්තා කරමින් ඇල්බේනියාව ලැයිස්තුවේ පෙරමුණ ගෙන ඇති අතර, වියට්නාමය (6.3%), ලාඕසය (6.1%), කටාර් (6%), මැලේසියාව (5.8%), තායිලන්තය (5.6%), පිලිපීනය සහ මොරොක්කෝව (එක් රටකට 5.5% බැගින්), නේපාලය (5.1%) සහ ශ්‍රී ලංකාව (4.3%) පිළිවෙලින් ඊළඟ ස්ථාන ලබාගෙන ඇත.
​ලෝක ආර්ථික සංසදය සඳහන් කළේ, විශේෂයෙන්ම ආසියා-පැසිෆික්, මැදපෙරදිග සහ උතුරු අප්‍රිකානු කලාපවල නැගී එන සංචාරක වෙළඳපොළවල්, බොහෝ ස්ථාපිත සංචාරක ගමනාන්තයන්ට වඩා වේගයෙන් තමන්ගේ තරඟකාරීත්වය වර්ධනය කරගනිමින් සිටින බවයි.
​සමස්තයක් ලෙස, 2026 දර්ශකය යටතේ ඇගයීමට ලක්වූ රටවල් 110න් 92%ක්ම 2024 වසරට වඩා තම ලකුණු මට්ටම් ඉහළ නංවාගෙන ඇති අතර, ගෝලීය සාමාන්‍ය වර්ධනය 2%ක් ලෙස සටහන් වී ඇත.
​සංචාරක යටිතල පහසුකම්, ගුවන් සබඳතා, සංස්කෘතික හා ස්වාභාවික සම්පත්, හිතකර පසුබිම සහ තිරසාරභාවය ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර 17ක් ඔස්සේ මෙම දර්ශකය මගින් රටවල් ඇගයීමට ලක් කෙරේ.
​2026 වසරේ හොඳම කාර්යසාධනයක් සහිත සංචාරක ආර්ථිකය ලෙස ජපානය ප්‍රථම ස්ථානය දිනාගත් අතර, ඇමරිකා එක්සත් ජනපදය, ස්පාඤ්ඤය, ඕස්ට්‍රේලියාව සහ ප්‍රංශය පිළිවෙලින් ඊළඟ ස්ථාන හිමිකර ගත්තේය.
​ලෝක ආර්ථික සංසදයට අනුව, 2025 වසරේදී වාර්තාගත ලෙස බිලියන 1.5ක ජාත්‍යන්තර සංචාරකයන්ගේ පැමිණීමක් සිදුව ඇති අතර, කොවිඩ් වසංගතයෙන් පසු ගෝලීය සංචාරක ක්ෂේත්‍රයේ සිදුවන මෙම ව්‍යාප්තිය අතරතුර මෙම නවතම වාර්තාව නිකුත් වී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *