මගීන් 174ක් බේරාගත් ඉන්දීය ගුවන් නියමුවාට මෝදි සහ නෙතන්යාහුගෙන් ප්‍රශංසා!
ඩුබායි සිට ටෙල් අවීව් දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයක පාලනය ලබා ගැනීමට උත්සාහ කළ සහායක ගුවන් නියමුවාගේ ප්‍රහාරයට ලක්ව බරපතල තුවාල ලබා සිටියදීත්, ගුවන් යානයේ පාලනය තහවුරු කරගනිමින් කටයුතු කළ කැප්ටන් ස්මිට් මච්ඡාර් (Smit Machchhar) මහතාව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් “වීරයෙකු” ලෙස ප්‍රශංසාවට ලක් කර ඇත.
”කැප්ටන් ස්මිට් මච්ඡාර් යනු සැබෑ වීරයෙකි. දැඩි අභියෝගාත්මක සහ අනතුරුදායක මොහොතක, තමන් බරපතල ලෙස තුවාල ලබා සිටියදීත් අන් අයගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා ඔහු අතිමහත් ධෛර්යයක් සහ නොසැලෙන කැපවීමක් පෙන්නුම් කළේය,” යනුවෙන් ඔක්තෝබර් 1 වන දින සමාජ මාධ්‍ය සටහනක් තබමින් අගමැති මෝදි පැවසීය.
”ඔහුගේ වික්‍රමාන්විත භාවය නිසා ජීවිත සිය ගණනක් බේරා ගැනීමටත් මහත් ඛේදවාචකයක් වළක්වා ගැනීමටත් හැකි වුණා. ඉන්දියාව කැප්ටන් මච්ඡාර් ගැන ආඩම්බර වෙනවා. ඔහුට ඉක්මන් සුවය, ශක්තිය සහ යහපත් සෞඛ්‍යය ප්‍රාර්ථනා කරනවා,” යැයි මෝදි වැඩිදුරටත් පැවසීය.
මෙම සිදුවීම සැප්තැම්බර් 30 වන දින ෆ්ලයිඩුබායි (Flydubai) සේවයට අයත් FZ1073 දැරූ ගුවන් යානය තුළ සිදුවී ඇත. ඩුබායි සිට ටෙල් අවීව් දක්වා මගීන් 174 දෙනෙකු රැගෙන පියාසර කරමින් තිබූ මෙම ගුවන් යානය, සිදුවීමෙන් පසු වයඹදිග සවුදි අරාබියේ තබූක් (Tabuk) නගරයට හදිසියේ ගොඩබස්වන ලදී.
ඉශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ද මච්ඡාර් මහතාව “සැබෑ වීරයෙකු” ලෙස ඇගයීමට ලක් කළ අතර, සහායක නියමුවා විසින් ගුවන් යානය කඩාබිඳ දැමීමේ උත්සාහයක නිරත වෙමින් පහර දුන් අවස්ථාවේදී මහා විපතක් වළක්වා ගැනීමට සහාය වීම පිළිබඳව ඔහුට කෘතඥතාව පළ කළේය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අතරතුර ඉශ්‍රායලය වෙත සහ එතැන් සිට ක්‍රියාත්මක වන සියලුම ගුවන් ගමන් අත්හිටුවීමට ෆ්ලයිඩුබායි සමාගම පියවර ගෙන ඇත.
ගුවන් යානය සීඝ්‍රයෙන් පහතට ඇදී යද්දී, පහරදුන් බවට සැකකරු මෙල්ල කරගැනීමට මගීන් සහ කාර්ය මණ්ඩලය මැදිහත් වී තිබේ. යානයේ පාලනය නැවත ලබාගැනීමට පෙර තත්පර 30ක් ඇතුළත එය අඩි 14,000කින් පමණ පහතට වැටුණු බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.
එම ගුවන් යානයේ මගීන් ලෙස පියාසර කරමින් සිටි තවත් ෆ්ලයිඩුබායි ගුවන් නියමුවන් දෙදෙනෙකු යානය සුරක්ෂිතව ගොඩබෑම් කටයුතුවලට සහාය වී ඇත. කොක්පිට් (Cockpit) පරිශ්‍රයේ සිදුවූ සිදුවීමට සම්බන්ධ නියමුවන් දෙදෙනාම රෝහල්ගත කර තිබේ.
ගුවන් යානා කොක්පිට් පරිශ්‍රය තුළ ගැටුමක් සිදු වූ බව පිළිගත් ගුවන් සමාගම, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බැවින් අනුමාන කිරීම්වලින් වළකින ලෙස ඉල්ලා සිටියේය.
i24NEWS පුවත් සේවයට අනුව, ශල්‍යකර්මයකට ලක්කෙරුණු මච්ඡාර් මහතා දැනට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙයි. ගුවන් සමාගම සහ ඉන්දීය බලධාරීන් ඔහුගේ පවුලේ අය සමඟ නිරන්තර සබඳතාවයෙන් පසුවේ.
ගුවන් යානය පැහැරගැනීමේ තර්ජනයක් මතුවිය හැකි බවට වූ සැකය හමුවේ හදිසි අවස්ථාව අතරතුර ඉශ්‍රායලය විසින් ප්‍රහාරක ජෙට් යානා ද අහසට යවා තිබුණි. අගමැති නෙතන්යාහු පසුව පැවසුවේ සැකකාර සහායක නියමුවා ඕමාන් ජාතිකයෙකු වන අතර ඔහු අත්අඩංගුවට ගෙන සවුදි අරාබියේදී ප්‍රශ්න කරමින් සිටින බවයි.
අනතුරුව වෙනත් විකල්ප ගුවන් යානයක් මගින් මගීන් ඉශ්‍රායලය වෙත රැගෙන යන ලදී. එහිදී සුළු තුවාල ලැබූ මගීන් තිදෙනෙකුට ඉශ්‍රායල හදිසි සේවා මගින් ප්‍රතිකාර ලබාදී ඇත.
තමන්ගේ රටට පියාසර කරන සියලුම ගුවන් නියමුවන්ගේ අනන්‍යතාව පරීක්ෂා කිරීමට පියවර ගන්නා බව ඉශ්‍රායල රජය නිවේදනය කළේය.
සහායක නියමුවා මෙසේ කිරීමට හේතුව සහ සමස්ත සිදුවීම් මාලාව පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පැවැත්වේ.
