​කැලිෆෝනියාවේ ළමා විවාහ තහනම්: අවම විවාහ වයස 18 ලෙස නියම වෙයි!

0

කැලිෆෝනියා ප්‍රාන්තයේ විවාහය සහ ගෘහස්ථ සහකරු/සහකාරිය (Domestic partnership) ලෙස ලියාපදිංචි වීම සඳහා වන අවම වයස අවුරුදු 18 ලෙස නියම කෙරෙන පනතකට කැලෆෝර්නියා ආණ්ඩුකාර ගැවින් නිව්සම් (Gavin Newsom) මහතා බදාදා අත්සන් තබා ඇත.
​සැන්ටා කෲස් හි ඩිමොක්‍රටික් පාක්ෂික නියෝජිත ගේල් පෙලරින් (Gail Pellerin) විසින් ඉදිරිපත් කරන ලද අංක 1267 දරන පනත මගින්, දෙමාපියන්ගේ කැමැත්ත ඇතිව බාලවයස්කරුවන්ට විවාහ වීමට හෝ ගෘහස්ථ සහකරු/සහකාරියන් ලෙස ලියාපදිංචි වීමට තිබූ නීතිමය ප්‍රතිපාදන අහෝසි කෙරේ.
​”මෙය කැලිෆෝනියාවේ තරුණ තරුණියන් සහ බාලවයස්කරුවන් ආරක්ෂා කිරීම සඳහා බොහෝ කලකට පෙර සිදුවිය යුතුව තිබූ පියවරක්. අද වන විට කැලෆෝර්නියාවේ දරුවන් වෙන කවරදාටත් වඩා සුරක්ෂිතයි,” යැයි අත්සන් තැබීමෙන් පසු ආණ්ඩුකාර නිව්සම් පැවසීය.
​මෙම පනත සඳහා ‘Unchained at Last’ සංවිධානය සහ ‘කැලිෆෝනියා කාන්තා හා බාලිකා තත්ත්වය පිළිබඳ කොමිෂන් සභාව’ අනුග්‍රහය දක්වා ඇත. ආණ්ඩුකාර කාර්යාලයට අනුව, ඇමරිකාවේ ප්‍රාන්ත 17ක් මේ වන විට කිසිදු ව්‍යතිරේකයකින් තොරව ළමා විවාහ සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.
​ටස්ටින් හි පිහිටි ‘Global Hope 365’ නමැති රාජ්‍ය නොවන සංවිධානයට අනුව, නීත්‍යානුකූල අවම විවාහ වයසක් නොතිබූ ඇමරිකානු ප්‍රාන්ත තුනෙන් එකක් ලෙස කැලෆෝර්නියාව පැවතිණි. පූර්ව නීතිය යටතේ, දෙමාපියන්ගේ කැමැත්ත සහ අධිකරණ අනුමැතිය සහිතව බාලවයස්කරුවන්ට විවාහ වීමට අවස්ථාව තිබුණි.
​එම සංවිධානය සඳහන් කළේ 2000 සහ 2021 අතර කාලය තුළ කැලිෆෝනියාවේ බාලවයස්කරුවන් සම්බන්ධ විවාහ 35,000ක් පමණ සිදුව ඇති බවත්, ඒ අතරින් වැඩි ප්‍රමාණයක් බාලවයස්කාර ගැහැණු ළමයින් වැඩිහිටි පිරිමින් සමඟ සිදුකරගත් විවාහ බවත්ය.
​මාධ්‍ය පෞරුෂයක් සහ ළමා විවාහ විරෝධී ක්‍රියාකාරිනියක වන කෝට්නි ස්ටොඩන් (Courtney Stodden) සමඟ එක්ව ආණ්ඩුකාර නිව්සම් මෙම පනතට අත්සන් තැබීය. තමන්ගේ වයස අවුරුදු 16ක්ව තිබියදී, 51 හැවිරිදි නළු ඩග් හචිසන් (Doug Hutchison) සමඟ විවාහ වීමට තමන්ගේ දෙමාපියන් අවසර දුන් ආකාරය ඇය එහිදී මතක් කළාය.
​”ගැවින් නිව්සම් ආණ්ඩුකාරවරයාගේ අද දිනයේ පියවර මගින් මටත්, ළමා විවාහවලින් බැටකෑ ලොව පුරා සිටින අනෙකුත් අයටත් පැහැදිලි කළේ, අප කිසිවිටෙකත් මෙම බර කරට ගැනීමට බලාපොරොත්තු නොවිය යුතු බවයි. මෙය සාක්ෂාත් කර ගැනීමට සටන් කළ Unchained At Last සංවිධානයට සහ සියලුම විපතට පත් අයට මාගේ පූර්ණ කෘතඥතාව හිමිවෙනවා. කැලිෆෝනියාව ජයග්‍රහණයක්, නමුත් මම මෙතැනින් නවතින්නේ නැහැ. ඇමරිකාවේ ප්‍රාන්ත 50හිම දරුවන් විවාහයෙන් ආරක්ෂා වන තෙක් මම මගේ සටන අඛණ්ඩව කරගෙන යනවා,” යැයි ස්ටොඩන් පැවසුවාය.
​බදාදා NBC Los Angeles නාලිකාව සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ස්ටොඩන් පැවසුවේ තමන් අතිශය සතුටට පත්ව සිටින බවයි.
​”අදටත් මම වරදකාරී හැඟීමකින් පීඩා විඳිනවා. ලිංගික අතවර සහ අපයෝජනයන්ට ලක්වූ අය තමන්ට සිදුවූ දේ ගැන තමන්ටම දොස් පවරා ගන්නා අවස්ථා තිබෙනවා. නමුත් අද සිදුවීම මට යමක් කියා දුන්නා. මට සහ අනෙකුත් දැරියන්ට සිදුවූයේ වරදක් බවත්, එහි වරදකරුවා මම නොවන බවත් මම තේරුම් ගත්තා,” යැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.
​මිසිසිපි සහ නිව් මෙක්සිකෝ ප්‍රාන්තවල ද නීත්‍යානුකූල අවම විවාහ වයසක් නියම කර නොමැති අතර, තවත් ප්‍රාන්ත කිහිපයක් යම් යම් කොන්දේසි යටතේ අවුරුදු 18ට අඩු වයස් නියම කර ඇත.
​Global Hope 365 සංවිධානය සිය ‘ළමා විවාහ අවසන් කිරීමේ කැලිෆෝනියා සන්ධානය’ හරහා ළමා විවාහ තුරන් කිරීමේ ව්‍යාපාරයකට නායකත්වය දුන්නේය.
​”කැලිෆෝනියාවේ කිසිදු ව්‍යතිරේකයකින් තොරව අවුරුදු 18ට අඩු ළමා විවාහ අහෝසි කිරීමේ මෙම සටනේ නායකත්වයේ කොටස්කරුවෙකු වීමට ලැබීම මහත් ගෞරවයක්,” යැයි එම සංවිධානයේ සභාපතිනී රීමා නාෂාෂිබී (Rima Nashashibi) පැවසුවාය.
​තවද, කැලිෆෝනියාවේ නගර 18ක් විසින් අවුරුදු 18 අවම විවාහ වයස ලෙස නියම කිරීමට සහය පළ කරමින් යෝජනා සම්මත කරගෙන තිබූ බව ද එම සංවිධානය සඳහන් කළේය.
​”මෙම උත්සාහයේ හදවත වූයේ ළමා විවාහවලින් බැටකෑ අයයි. කැමැත්තක් නැති විවාහයක දරුවෙකු ලෙස සිටීම යන්නෙහි තේරුම කුමක්දැයි ඔවුන් අපට කිව්වා. කැමැත්ත නමැති ආවරණය පිටුපස ඇති තර්ජන සහ අපයෝජන ගැන ඔවුන් අපට හෙළි කළා. දරුවෙකුට උපකාර ඉල්ලා සිටීම, නීතිඥයෙකු සොයා ගැනීම හෝ තමන්ව ආරක්ෂා කළ යුතු වැඩිහිටියන්ගෙන් මිදී පලා යාම කෙතරම් දුෂ්කරද යන්න ඔවුන් විස්තර කළා. ඔවුන් නිසා අද කැලෆෝර්නියාවේ දරුවන් වඩාත් සුරක්ෂිත වී සිටිනවා,” යැයි පනත ඉදිරිපත් කළ ගේල් පෙලරින් පැවසුවාය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *