Facebook පරිශීලක දත්ත චෝදනාවට Meta සමාගමට ඩොලර් බිලියන 40ක දඩයක් ඉල්ලයි!

0

Facebook පරිශීලකයින්ගේ දත්ත පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් පාරිභෝගිකයින් නොමඟ යැවූ බවට ජූරි සභාවක් තීන්දු කිරීමෙන් පසු, Meta සමාගමට ඩොලර් බිලියන 35ත් 40ත් අතර දඩයක් නියම කරන ලෙස අමෙරිකාවේ නිව් මෙක්සිකෝ ප්‍රාන්තය අධිකරණයෙන් ඉල්ලා තිබේ.

රොයිටර් පුවත් සේවය වාර්තා කළේ, Cambridge Analytica සම්බන්ධ සිද්ධියෙන් පසුව නිව් මෙක්සිකෝ ප්‍රාන්තය විසින් ගොනු කළ නඩුවකට අදාළව මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි.

2016 වසරේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණය සමග කටයුතු කළ බ්‍රිතාන්‍ය දේශපාලන උපදේශන සමාගමක් වන Cambridge Analytica, තෙවන පාර්ශ්ව යෙදුමක් හරහා Facebook පරිශීලකයින් මිලියන 87ක් පමණගේ පෞද්ගලික දත්ත ඔවුන්ගේ අවසරයකින් තොරව ලබාගෙන ඇති බවට අනාවරණය වීමෙන් පසුව මෙම නඩුව මතුව ඇති බව සඳහන්.

පසුගිය සැප්තැම්බර් 25 වැනිදා නඩුව සම්බන්ධයෙන් ජූරි සභාව තීන්දුව ලබාදී ඇති අතර, Meta සමාගමට ගෙවීමට සිදුවන අවසන් දඩ මුදල කොපමණද යන්න තීරණය කිරීමට නඩුව විභාග කළ විනිසුරු Francis Mathew කටයුතු කිරීමට නියමිතයි.

ඊයේ (01) පැවති අධිකරණ විභාගයේදී නිව් මෙක්සිකෝ ප්‍රාන්තය සහ Meta සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අතර දඩ මුදල සම්බන්ධයෙන් මතභේදයක් ඇතිව තිබෙනවා.

2021 වසරේදී ගොනු කළ මෙම නඩුවෙන් චෝදනා කර ඇත්තේ, Facebook පරිශීලකයින්ගේ දත්ත වෙත ප්‍රවේශ විය හැක්කේ කාටද යන්න ඇතුළු කරුණු සම්බන්ධයෙන් Meta සමාගම පරිශීලකයින් නොමඟ යවා ඇති බවයි.

එමෙන්ම Facebook වේදිකාවේ පළවන වෛරී ප්‍රකාශ සහ වැරදි තොරතුරු සම්බන්ධයෙන් සමාගමේ ක්‍රියාමාර්ග පිළිබඳව ද ප්‍රාන්තය චෝදනා ඉදිරිපත් කර තිබෙනවා.

Meta සමාගම සහ එහි ප්‍රධානීන් විසින් සිදුකළ ප්‍රකාශ 29ක් ජූරි සභාව විසින් සලකා බලා ඇති අතර, ඉන් ප්‍රකාශ 26ක් නොමඟ යවන සුළු බවට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

එම ප්‍රකාශවලට අදාළව Facebook පරිශීලකයින් හෝ නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ පදිංචිකරුවන් සංඛ්‍යාව මත පදනම්ව, Meta සමාගම නිව් මෙක්සිකෝ පාරිභෝගික ආරක්ෂණ නීති උල්ලංඝනය කිරීම් මිලියන 43කට වැඩි ප්‍රමාණයක් සිදුකර ඇති බවද ජූරි සභාව තීරණය කර තිබෙනවා.

නිව් මෙක්සිකෝ ප්‍රාන්ත නීතිය යටතේ එක් එක් උල්ලංඝනයක් සඳහා ඩොලර් 5,000ක් දක්වා දඩයක් නියම කිරීමට විනිසුරුවරයාට හැකියාව ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, නිව් මෙක්සිකෝ ප්‍රාන්තය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරියක් වන Randi McGinn අධිකරණයට පවසා ඇත්තේ, එක් එක් උල්ලංඝනය සඳහා උපරිම ඩොලර් 5,000ක දඩය බැගින් නියම කළහොත් එය අමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ඇති සාධාරණ ක්‍රියාමාර්ග පිළිබඳ අයිතිවාසිකම්වලට ගැටලුවක් විය හැකි බවයි.

ඒ වෙනුවට සමාගමට සැලකිය යුතු මූල්‍ය බලපෑමක් ඇති කරන ඩොලර් බිලියන 35ත් 40ත් අතර දඩයක් නියම කළ යුතු බවයි ඇය ඉල්ලා සිටින්නේ.

එම මුදල, ජූරි සභාවේ තීන්දුව මත නීතිය යටතේ නියම කළ හැකි උපරිම දඩ මුදලින් සියයට 20කට පමණ සමාන වන බවද ඇය සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, Meta සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ Matt Nicholson එම ඉල්ලීම “අති විශාල දඩයක්” ලෙස හඳුන්වා දෙමින්, එය අමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන කිහිපයක් උල්ලංඝනය කරන බවට තර්ක කර තිබුණා.

Meta සමාගම අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ දඩ මුදල ඩොලර් බිලියන 3.45කට සීමා කරන ලෙසයි.

Meta සමාගම අධිකරණයට ඉදිරිපත් කළ කරුණු අනුව, ජූරි සභාව එහි ප්‍රකාශ නොමඟ යවන සුළු බවට තීරණය කළද, සමාගම පරිශීලක දත්ත අලෙවි නොකරන බවට සාක්ෂි පවතින අතර, කිසිදු පාරිභෝගිකයෙකු ඇත්ත වශයෙන්ම නොමඟ ගිය බව නිව් මෙක්සිකෝ ප්‍රාන්තය ඔප්පු කර නොමැති බවද එම සමාගම පවසා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විනිසුරුවරයා මෙම මාසයේ අග භාගයේදී තීන්දුවක් ලබාදීමට අපේක්ෂා කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *