නැගෙනහිර සංචාරක ප්‍රවර්ධනයට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් පියවර
කොළඹ සිටින විදේශීය තානාපති කාර්යාල ප්‍රධානීන් උදෙසා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලැබූ විශේෂ සංචාරක සංවර්ධන අධ්‍යයන සංචාරය අද ආරම්භ විය. අද පෙරවරුවේ කොළඹ හිල්ටන් හෝටලයෙන් ගමන් ආරම්භ කළ මෙම පිරිස පාසිකුඩා අනන්තය රෙසෝට් ඇන්ඩ් ස්පා හෝටලයට ළඟා විය. පාසිකුඩා වෙරළ තීරයේ සැරිසරන මෙම පිරිස අද පස්වරුවේදී කුඩා හා මධ්‍ය පරිමාණ හස්ත කර්මාන්ත නිෂ්පාදකයින්ගේ ප්‍රදර්ශනයක් නැරඹීමට නියමිතයි.
නැගෙනහිර කලාපයේ පවතින සුවිශේෂී සංස්කෘතික, සාමාජික හා ආර්ථික වටිනාකම් මෙන්ම, එම පළාත සතු පොහොසත් උරුමය සහ සංචාරක ප්‍රවර්ධන හැකියාවන් ජාත්‍යන්තරයට විදහා දැක්වීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණයි. මෙම තෙදින සංචාරය අතරතුරදී විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයින් නැගෙනහිර පළාතේ දේශපාලන නායකයින්, මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් හමුවී, ඉදිරි ආයෝජන සහ කලාපීය සංවර්ධන අවස්ථා පිළිබඳව විශේෂ සාකච්ඡාවල නිරත වීමට නියමිතව තිබේ. නැගෙනහිර පළාතේ පවතින ආයෝජන සහ සංචාරක විභවතාවයන් ලොවට අනාවරණය කිරීමටත්, ජාත්‍යන්තර සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් දිගුකාලීන තිරසාර සංචාරක වර්ධනයක් රටට අත්කර දීමටත් මෙම පියවර මහත් පිටිවහලක් වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.
දෙවන දිනය වන හෙට දිනයේදී (19) එරාවුර් අපනයන සැකසුම් කලාපයේ, සේරුවිල බෞද්ධ විහාරයේ සහ ත්‍රිකුණාමලයේ කෝණේෂ්වරම් හින්දු දේවස්ථානයේ සංචාරය කිරීමට නියමිතයි. සංචාරයේ තෙවන දිනයේදී (20) ඔවුන් නැවතත් කොළඹට පැමිණීමට නියමිතයි.
