තරුණ සංවර්ධන පිළිබඳ ශ්‍රී ලංකාවේ පළමු ජාතික පර්යේෂණ සමුළුවේ මාධ්‍ය නිවේදනය

0

මාධ්‍ය නිවේදනයයි

තරුණ සංවර්ධන පිළිබඳ ශ්‍රී ලංකාවේ පළමු ජාතික පර්යේෂණ සමුළුව අද (16දා) අග්‍රාමාත්‍ය , ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

ඒ අනුව මෙම සමුළුව අද (16) සහ හෙට (17) රත්මලාන පිහිටි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල ශ්‍රවනාගාරයේ දී උදෑසන 9ට ආරම්භ වූ අතර, එදින සවස හා 17 වැනිදා දවස පුරා විද්වත් සංවාද හා සාකච්ඡා මණ්ඩප පැවැත්වීමට සැලසුම් කර ඇත.

මෙම සමුළුවට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා,තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අරුණ බණ්ඩාර මහතා, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයන අංශයේ, ආචාර්ය ශාන්ත අබේසිංහ මහතා ඇතුළු විශ්ව විද්‍යාලා මහාචාර්ය , ආචාර්යවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

සමුළුවේ ප්‍රධාන දේශනය ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය පී. එම්. සී. තිලකරත්න මහතා විසින් සිදු කළ අතර, පර්යේෂණ සඳහා උනන්දුවක් දක්වන තරුණ තරුණියන් 500කට අධික ප්‍රමාණයක් සමුළුව සඳහා සහභාගී වී සිටිති.

තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය (OUSL) ඒකාබද්ධව ශ්‍රී ලංකා තරුණ ප්‍රජාව සතු විභවතාවයන් හදුනාගනිමින්, ඔවුන් රටේ තිරසාර සංවර්ධනයට දායක කරගැනීමේ අරමුණින් හා තරුණ සංවර්ධන කටයුතු සිදු කිරීමේදී අවශ්‍ය දත්ත ලබා ගැනීමේ අරමුණින් තරුණ සංවර්ධන පිළිබඳ ජාතික පර්යේෂණ සමුළුව සංවිධානය කරයි.

විශ්ව විද්‍යාල සිසුන් (උපාධි / පශ්චාත් උපාධි), ස්වාධීන පර්යේෂකයන්, රාජ්‍ය සහ රාජ්‍ය නොවන අංශවල වෘත්තිකයන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ තරුණ සංවර්ධනය කෙරෙහි උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට මේ සඳහා දායක විය හැකි අවස්ථාව ලබාදී ඇති අතර, තරුණ පර්යේෂකයින් 200 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් මේ සදහා සිය සාරාංශ පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කර ඇත. සමුළුවේ දී පර්යේෂණ පත්‍රිකා 67ක් ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ අතරින් තෝරාගත් තරුණ පර්යේෂකයින් 40 දෙනෙකු සදහා රුපියල් 25,000 බැගින් වූ පර්යේෂණ දිරි දීමනාවක් ලබා දීම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පසුගිය දා සිදු කෙරුණි.

එම අවස්ථාවේ දී අදහස් දැක්වූ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා,

“අද අපේ තරුණ පරපුරට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන, ඒ වගේම මෙහෙම වැඩසටහන් කරද්දී අපිට බලපාන ව්‍යූහාත්මක බාධාවන් ගැන කතා කරන එක හරිම වැදගත්. අන්න ඒ නිසයි මට හිතෙන්නේ මේ සම්මන්ත්‍රණය මේ වෙලාවේ මෙච්චර වැදගත් වෙන්නේ කියලා.
අපේ තරුණ හා ක්‍රීඩා ක්ෂේත්‍රය ශක්තිමත් කරන්න රුපියල් මිලියන 145 ක ආයෝජනයක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම ඒ පර්යේෂණ හා සංවර්ධන වැඩපිළිවෙළ ඇතුළෙන්ම තමයි මේ සම්මන්ත්‍රණය වෙනුවෙන් රුපියල් මිලියන 5 ක් වෙන් කරලා තියෙන්නේ. මිලියන 145 ක් කියන්නේ ලොකු මුදලක් නෙවෙයි වෙන්න පුළුවන්. හැබැයි ඒක හොඳ ආරම්භයක්. ඒ වගේම ඒකෙන් පෙනෙනවා රජයක් විදිහට අපි සාක්ෂි හා දත්ත මත පදනම් වුණු ප්‍රතිපත්ති හදන්න කොච්චර උනන්දුද කියලා.
අපේ රජයට තරුණ සංවර්ධනය කියන්නේ එක ක්ෂේත්‍රයකට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි, ඒක හැම ක්ෂේත්‍රයකටම අදාළ වෙන එකක්. මෙතැනදී අපේ අරමුණ වෙන්නේ තරුණයෝ මුහුණ දෙන ප්‍රශ්නවලට ක්‍රමානුකූලව සහ තිරසාර විදිහට විසඳුම් දෙන්න පුළුවන්, හැම ක්ෂේත්‍රයකටම මගපෙන්වන හොඳ ප්‍රතිපත්ති රාමුවක් හදන එක.
ශ්‍රී ලංකාව මීට කලිනුත් මෙහෙම ප්‍රතිපත්තියක් හදන්න උත්සාහ කළා. මට මතකයි 2014 දී අපෙන් ගොඩක් දෙනෙක් ඒකට එකතු වුණා. අපි එදා ගොඩක් මහන්සි වුණා. හැබැයි එදා අපි හොයාගත්ත සමහර පර්යේෂණ තොරතුරු ඒ දවස්වල තිබ්බ රජයට එච්චර ඇල්ලුවේ නැහැ. ඒ හින්දා ඒ තොරතුරු රජයට ඉදිරිපත් කරන්නේ කොහොමද කියලා එදා ලොකු විවාද පවා ගියා.
අන්තිමේදී ඒ ප්‍රතිපත්තියට මොකද වුණේ කියලා නම් මම හරියටම දන්නේ නැහැ. අමාත්‍යාංශයේ කොහේ හරි අල්මාරියක ඒ 2014 ප්‍රතිපත්තිය තවමත් ඇති. හැබැයි අපි ඒක කළෙත් ලොකු උනන්දුවකින්. ඊට පස්සේ සමාජ විද්‍යා අධ්‍යයන අංශය හරහා තරුණයින් ගැන අවධානය යොමු කරපු එක්සත් ජාතීන්ගේ ජාතික සංවර්ධන වාර්තාව හදන්න අපිට පුළුවන් වුණා.
ඒ නිසා මට හිතෙන්නේ තරුණයෝ ගැන පර්යේෂණ කරලා ලොකු අත්දැකීමක් තියෙන විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයට වඩා වෙන හොඳ තැනක් නැහැ මේ වැඩේ භාරදෙන්න. මොකද ඒ අය පර්යේෂණ කරලා, ප්‍රතිපත්ති හදලා විතරක් නැවතුණේ නැහැ; ඒවා අධ්‍යයන පාඨමාලා බවටත් පත් කළා. ඒක තමයි මේ අධ්‍යයන අංශය කරපු වඩාත්ම පැසසුම්කටයුතු සහ නව්‍ය දේ. තරුණ සංවර්ධනය ගැන ඩිප්ලෝමා එකකින් පටන් අරන්, අද වෙනකොට ඒක සම්පූර්ණ උපාධි පාඨමාලාවක් බවට පත් කරලා තියෙනවා. මං හිතන්නේ අපේ විශ්වවිද්‍යාල පද්ධතියේම තියෙන එකම පාඨමාලාවත් ඒකයි.
ඉතින් මට හොඳටම විශ්වාසයි අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා මේ ගමන ඉදිරියට අරන් යන්න මේ අධ්‍යයන අංශයට හොඳ පළපුරුද්දක් වගේම ලොකු උනන්දුවකුත් තියෙනවා කියලා. මෙහෙම වැඩකට නිවැරදිම සහකරුවා තෝරාගැනීම ගැන මම තරුණ කටයුතු අමාත්‍යාංශයට ස්තුතිවන්ත වෙනවා.
මේක මගේ පරණ අධ්‍යයන අංශය හින්දා මට මේ ගැන තියෙන්නේ ලොකු සතුටක්. එදා අපි පටන් ගත්ත වැඩේ අද මේ විදිහට ඉදිරියට යද්දී ඇත්තටම ගොඩක් සතුටුයි.
ප්‍රතිපත්තියක් හදන එක ආරම්භයක් විතරයි. ඒක සාර්ථක වෙන්නේ නිවැරදිව ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය සහ ඇගයීම මත. ඒ නිසා නිවැරදි ප්‍රමුඛතා හඳුනාගෙන, සල්ලි වෙන් කරලා, හොඳ වැඩසටහන් හදලා, ඒවයේ ප්‍රතිඵල මනින්න පුළුවන් ක්‍රමවේදයකුත් අමාත්‍යාංශය හදයි කියලා මම බලාපොරොත්තු වෙනවා.
අපි කවුරුත් පිළිගන්න දෙයක් තමයි තරුණ ප්‍රතිපත්තියක් කියන්නේ වෙනස් වෙන තරුණ අවශ්‍යතාවලට ගැලපෙන එකක් වෙන්න ඕනේ කියන එක. ඒ නිසා තරුණ සවිබල ගැන්වීම කියන්නේ තරුණයින්ට විතරක් කරන වැඩසටහන් නෙවෙයි, තරුණයෝ ජීවත් වෙන වටපිටාව වෙනස් කරන එක සහ රටේ තීරණ ගන්න තැනට තරුණයින්ව එකතු කරගන්න එක.
අපේ රටේ තරුණයෝ හැමදාමත් සක්‍රීයව හිටියා. ඒ අයට පැහැදිලි අදහස් තියෙනවා. 2024 දී සිද්ධ වුණු ආණ්ඩු වෙනසට ප්‍රධානම හේතුව තරුණයෝ නායකත්වය දීපු ඒ දැවැන්ත ජන අරගලය කියන එක රහසක් නෙවෙයි. තරුණයෝ වෙනසක් ඉල්ලුවා. පවුල්වාදයෙන්, දූෂණයෙන් සහ බොරු ශෝභන දේශපාලනයෙන් තොර අලුත් දේශපාලන සංස්කෘතියක් උන් ඉල්ලුවා. අද මේ රජය බලයේ ඉන්නෙත් ඒ අරගලය නිසා. ඒකෙන්ම පෙනෙනවා අපේ තරුණයෝ තමන්ට ඕනේ දේ හොඳට දන්නවා වගේම ඒ වෙනුවෙන් පෙනී සිටින්නත් ලෑස්තියි කියලා. අපි කරන්න ඕනේ ඒ අයට කතා කරන්න වේදිකාවක් හදලා දීලා, මේ වෙනස්කම්වලට නායකත්වය දෙන්න අවශ්‍ය වටපිටාව හදලා දෙන එකයි.
අන්න ඒ නිසයි අපේ රජය අධ්‍යාපනයට, වෘත්තීය අධ්‍යාපනයට සහ කුසලතා සංවර්ධනයට ලොකු මුදලක් ආයෝජනය කරන්නේ. මොකද අපි මේ හදන්න හදන පරිවර්තනයේ කොටස්කරුවන් වෙන්න නම් තරුණයින්ගේ හැකියාවන් වැඩි කරන්නම ඕනේ.
ආචාර්ය සිංහ මහත්මයා කිව්වා වගේ අපි මේ ජීවත් වෙන්නේ හරිම වේගයෙන් වෙනස් වෙන ලෝකයක. හැම පරම්පරාවක්ම හිතනවා තමන්ට පස්සේ එන පරම්පරාව වෙනස් කියලා. හැමෝටම අභියෝග තිබුණා. හැබැයි වර්තමාන තරුණ පරපුරේ තියෙන වෙනස තමයි, අපිටවත් හිතාගන්න බැරි තරම් වේගයෙන් වෙනස් වෙන ලෝකයකට ඒ අය මුහුණ දෙන එක. තාක්ෂණය, ආර්ථිකය, දේශපාලනය මේ සේරම වෙනස් වෙන්නේ හරිම වේගෙන්. ඒක තමයි මේ තරුණයින්ට තියෙන ලොකුම අභියෝගය.
ඉතින් අපේ අරමුණ වෙන්න ඕනේ මේ වෙනස්කම්වලට ඔරොත්තු දෙන්න පුළුවන්, ඕනෑම දේකට අනුගත වෙන්න පුළුවන් තරුණ පරපුරක් හදන එක. හැබැයි ඒ විතරක් මදි. පිටින් පටවන වෙනස්කම්වලට නිකම්ම යටවෙන්නේ නැතුව, මුළු මානව සංහතියටම යහපතක් වෙන විදිහට ඒ වෙනස්කම්වලට නායකත්වය දෙන්න අපේ තරුණයින්ට පුළුවන් වෙන්න ඕනේ. මෙච්චර කල් ශ්‍රී ලංකාව කළේ අන් අය හදපු පාරවල්වල ගිය එක. දැන් කාලය ඇවිත් තියෙන්නේ අපිට ඕනේ පාරවල් අපිම හදාගෙන ඉදිරියට යන්න.
ඒ හැමදේටම පර්යේෂණ ඉතාම වැදගත්. මෙතැනදී තරුණ සවිබලගැන්වීම, නායකත්වය, අධ්‍යාපනය, මානසික සෞඛ්‍යය, පෝෂණය, ව්‍යවසායකත්වය, ඩිජිටල්කරණය වගේ වර්තමානයට ගොඩක්ම වැදගත් තේමා 9 ක් යටතේ සාකච්ඡා කරන එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම කාන්තාවන් සහ කොන්වූ පිරිස් මුහුණදෙන ගැටලු ඇතුළු සාධාරණ සමාජයක් හදන්න ඕනේ කරන කරුණු ගැනත් ඔබ අවධානය යොමු කරයි කියලා මම හිතනවා. 2014 දීත් අපි ඒ ගැන ගොඩක් අවධානය යොමු කළා.
රජයක් විදිහට වැඩසටහන් හදද්දී අපිට විශ්වාසදායක දත්ත සහ සාක්ෂි ඕනේ. ඒ දත්ත ලබාදෙන පර්යේෂකයෝ එක්ක වැඩ කරන්න ලැබීම ගැන අපි සතුටු වෙනවා. මේ සම්මන්ත්‍රණය මගින් ප්‍රතිපත්ති සම්පාදනයයි අධ්‍යයන ක්ෂේත්‍රයයි අතර තියෙන සබඳතාව තවත් ශක්තිමත් කරනවා. මේ වෙනුවෙන් නායකත්වය දීපු විවෘත විශ්වවිද්‍යාලයටත්, විශේෂයෙන්ම සමාජ විද්‍යා අධ්‍යයන අංශයටත් මගේ සුබපැතුම්.
ඉදිරි දින දෙක ඇතුළත හොඳ සාකච්ඡා, සංවාද වගේම අලුත් අදහස් ගොඩක් මතුවෙයි කියලා මට විශ්වාසයි. ඒ සොයාගැනීම් මොනවාද කියලා දැනගන්න මමත් බලාපොරොත්තු වෙනවා. මේ සම්මන්ත්‍රණයට මගේ හදපිරි සුබපැතුම් අතීතයේ කරපු සමහර වැඩ වගේ නෙවෙයි, මෙතැනින් එන පර්යේෂණ සහ ප්‍රතිපත්ති අපේ තරුණයින්ගේ ජීවිතවලට සැබෑ වෙනසක් එකතු කරයි කියලා මම මුළු හදින්ම ප්‍රාර්ථනා කරනවා”

මෙම ප්‍රවෘත්තිය ඔබගේ මාධ්‍ය මගින් ප්‍රචාරය කර දෙන ලෙස ඉල්ලා සිටිමු. අපගේ මාධ්‍ය කටයුතු වෙනුවෙන් ඔබ දක්වන සහයෝගයට ස්තුතියි.

මාධ්‍ය අංශය
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *