මාස 15 තුළ ව්‍යවසායකයන් 2,000කට රුපියල් බිලියන 14කට අධික ණය පහසුකම්
මාස 15 තුළ ව්‍යවසායකයන් 2,000කට රුපියල් බිලියන 14කට අධික ණය පහසුකම්
පසුගිය මාස 15 තුළ පමණක් ඇප රහිත ණය 2,000ක් ලබා දෙමින්, රුපියල් බිලියන 14කට අධික ණය පහසුකම් අපේ රටේ ව්‍යවසායකයන් වෙත ගලා යාමට මග සැලසූ බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සඳහන් කර තිබේ.
එමෙන්ම අභියෝග මැද ව්‍යවසායකයා ශක්තිමත් කරන අලුත් ගමනක තවත් දැවැන්ත පියවරක් ආරම්භ කළ බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
ඒ ජාතික ණය සුරැකුම් ආයතනයේ (NCGI) නව මෙහෙයුම් මධ්‍යස්ථානය විවෘත කරමින්.
කොළඹ HNB ටවර්හි දීයි මෙම මෙහෙයුම් මධ්‍යස්ථානය විවෘත කෙරුණේ.
මෙම සුවිශේෂී වැඩපිළිවෙළ ආරම්භ කරන අවස්ථාවේදී බොහෝ දෙනෙක් මෙය “ලංකාවේ කරන්න බැරි වැඩක්” ලෙස හැඳින්වූ නමුත් රජය එම අභියෝගය සාර්ථකව භාරගත් බවයි නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සඳහන් කළේ.
මෙම වසර අවසන් වීමට පෙර තවත් ව්‍යවසායකයින් 1,000කට ආසන්න පිරිසකට මෙම පහසුකම ලබාදීමට හැකි වනු ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
මෙම වැඩපිළිවෙළ යටතේ 2,000 වැනි ණය සුරැකුම හිමිව ඇත්තේ කොමර්ෂල් බැංකුව හරහා ස්වයං රැකියාවක නිරත වන කිතුල් නිෂ්පාදන ව්‍යවසායිකාවකට වීමද විශේෂත්වයක්.
සාමාන්‍යයෙන් බැංකුවකින් ණයක් ලබා ගැනීමේදී දේපළ හෝ ස්ථාවර ඇපකරුවන් ඉල්ලා සිටින බැවින්, දක්ෂතාවය තිබුණද ඇප නොමැතිකම නිසා ව්‍යවසායකයන්ගේ සිහින බොඳ වී යන බවද සඳහන් කළා.
එම තත්ත්වය වෙනස් කරමිනුයි ව්‍යවසායකයා වෙනුවෙන් රජය මැදිහත් වී බැංකුව වෙත අවශ්‍ය ණය සුරැකුම (Credit Guarantee) ලබා දීම මෙම ක්‍රමය හරහා සිදු කෙරෙන්නේ.
මෙම ණය පහසුකම ලබා ගැනීමට බලාපොරොත්තු වන ව්‍යවසායකයන් සපුරාලිය යුතු මූලික සුදුසුකම් 4ක් වනවා.
එම සුදුසුකම් පහතින්,
–> සංවිධානාත්මක ව්‍යාපාරයක්
–> ශක්තිමත් මූල්‍ය ප්‍රවාහයක්
–> ප්‍රායෝගික පුරෝකථනයක්
–> තම බැංකුවේ එකඟතාවය අවශ්‍ය වෙනවා.
දේශීය කර්මාන්ත සහ ව්‍යවසායකත්වය තවදුරටත් නගාසිටුවීම වෙනුවෙන් ඉදිරියේදී නව ආර්ථික මෙවලම් රැසක් හඳුන්වා දීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළා.
ඒ අනුවයි සංවිධානාත්මක ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමයක්, ශක්තිමත් සමුපකාර බැංකු පද්ධතියක්, සංවර්ධන බැංකුවක්, හිමිකාර ප්‍රාග්ධන අරමුදලක් ඉදිරියට නිර්මාණය කෙරෙන්නේ.




