අපරාධ පනතේ පච්ච සහ මාධ්‍ය සීමා වගන්ති හකුලා ගැනීමට රජයෙන් පියවර!
යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතෙහි (Prevention of Organised Crimes Bill) පච්ච කොටා ගැනීම් (tattoos) සහ සිරුරේ සලකුණු වලට අදාළ විධිවිධාන නීති සංශෝධන හරහා ඉවත් කරනු ලබන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා ඇතැයි ‘අද දෙරණ’ වාර්තාකරු පවසයි.
පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී අදාළ සංශෝධන ඉදිරිපත් කිරීමට අපේක්ෂිත අතර, යෝජිත වෙනස්කම් ඇතුළත් ලේඛනයක් ද ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ.
බරපතළ අපරාධවලට සම්බන්ධ නඩු සම්බන්ධයෙන් තොරතුරු ප්‍රකාශයට පත් කිරීමට පෙර අධිකරණයේ පූර්ව අනුමැතිය ලබා ගත යුතු වගන්තියක් ද ඉවත් කර ගන්නා බව නීතිපතිවරයා වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී ඇත.
මෙම වර්ධනයන් පිළිබඳව දැනුම් දී ඇත්තේ, යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි පවසමින් ගොනු කර තිබූ පෙත්සම් අද (09) විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතාය.
අග්‍ර විනිශ්චයකාර ප්‍රීති පද්මන් සුරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම් 26 විභාගයට ගැනෙමින් පවතී.
පෙත්සම් මීට පෙර කැඳවූ අවස්ථාවේදී, පනත් කෙටුම්පතට අදාළ යෝජිත සංශෝධන ලිඛිත දේශන හරහා ඉදිරිපත් කරන ලෙස අධිකරණය පෙත්සම්කරුවන්ට නියෝග කර තිබුණි.
ඒ අනුව, පෙත්සම්කරුවන් නියෝජනය කළ නීතිඥවරුන් විසින් පසුගිය බ්‍රහස්පතින්දා (05) සිය ලිඛිත දේශන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
