නැගෙනහිර විශ්වවිද්‍යාලයේ මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා රැසක් කෝප් කමිටුව හමුවේ එළියට!

0

සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ගිවිසුම් හා බැඳුම්කර කඩ කර විදේශගත වූ කථිකාචාර්යවරුන්ගෙන් අයකර ගත යුතු සමස්ත මුදල රුපියල් බිලියන 30කට ආසන්න විය හැකි බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (COPE) අනාවරණය වී තිබෙනවා.

එහිදී, බැඳුම්කර කඩ කළ පුද්ගලයන්ගෙන් අදාළ මුදල් අයකර ගැනීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අවශ්‍යතාව ද කාරක සභාව විසින් නිලධාරීන්ට දැඩිව අවධාරණය කර ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීරගේ සභාපතිත්වයෙන් පසුගියදා (04) පැවති COPE කමිටු රැස්වීමේදී නැගෙනහිර විශ්වවිද්‍යාලයේ 2023 සහ 2024 වර්ෂයන්ට අදාළ විගණන වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය විමසා බැලීමේදී මෙම තොරතුරු හෙළිවී තිබෙනවා.

එහිදී, මැතිවරණයකට ඉදිරිපත් වීම සඳහා ඉල්ලා අස්වී නැවත සේවයට පැමිණි කථිකාචාර්යවරියකට රුපියල් 3,633,900ක මුදලක් වැඩිපුර ගෙවා ඇති අතර, එම මුදල කඩිනමින් අයකර ගන්නා ලෙස උපදෙස් දී තිබෙනවා.

එමෙන්ම, සහායක කාර්ය මණ්ඩලයේ 38 දෙනෙකු ඇඟිලි සලකුණු යන්ත්‍ර පද්ධතිය මඟහැර, වාර්ෂික නිවාඩු හිමිකම ඉක්මවා දින 5 සිට 83.5 දක්වා වැඩිපුර නිවාඩු ලබාගෙන ඇති අතර, ඒ වෙනුවෙන් ගෙවා ඇති රුපියල් 99,181,457ක වැටුප් මුදල නිරවුල් කිරීමට හෝ අයකර ගැනීමට පියවර ගෙන නොමැති බව අනාවරණය වී තිබෙනවා.

තවද, වෛද්‍ය උපකරණ මිලදී ගැනීමේදී ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කර නොමැති අතර, විමර්ශන කමිටු නිර්දේශ කර තිබූ විනය ක්‍රියාමාර්ග ද ගෙන නොමැති බවත්, ධ්‍යයන සුදුසුකම් හා පදවි උසස්වීම් සම්බන්ධයෙන් පරස්පර සහතික පත්‍ර ඉදිරිපත් වීම සහ අදාළ නිලධාරීන්ගේ පුද්ගලික ලිපිගොනු අතුරුදහන් වීම සම්බන්ධයෙන් මාස තුනක් ඇතුළත පූර්ණ විමර්ශනයක් කර වාර්තාවක් ලබා දෙන ලෙසත් දන්වා තිබෙනවා.

විශ්වවිද්‍යාල පාලක සභාවල අක්‍රමිකතා සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට මැදිහත් වී තීරණ ගැනීමට හැකිවන පරිදි 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතට අවශ්‍ය සංශෝධන කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට මෙහිදී උපදෙස් ලබා දී ඇති බවයි එම නිවේදනයේ සඳහන්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed