බොරතෙල් මිල ඩොලර් 80 සීමාවෙන් පහළට
බොරතෙල් මිල ඩොලර් 80 සීමාවෙන් පහළට
මාස හතරකට ආසන්න කාලයක් ගෝලීය බලශක්ති අර්බුදයක් නිර්මාණය කළ ඉරාන යුද ගැටුම් අවසන් වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල වාර්තාගත අයුරින් පහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
යුද ගැටුම් ආරම්භයේදීම ඉරාන ආරක්ෂක හමුදාව ලෝක වෙළෙඳපොළේ දෛනික බොරතෙල් සැපයුමෙන් 20%ක් ප්‍රවාහනය කරන හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමෙන් උද්ගත වූ අර්බුදය නිමාවට පත්වන බවට අමෙරිකාව සහ ඉරානය නිවේදන නිකුත් කිරිමෙන් පසුව ඊයේ (17) පස්වරුව වන විට බ්‍රෙන්ට් දර්ශකයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 78.40 දක්වා සහ ටෙක්සාස් දර්ශකයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 75.29 දක්වා පහත වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. මෙය පසුගිය මාර්තු මාසයෙන් පසු වාර්තා වූ අවම මිල බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඉරාන වරායන් වෙත අමෙරිකාවෙන් පනවා තිබූ අවහිරතාව ඉවත් කිරීමෙන් පසු මැදපෙරදිග රටවලින් සහ ඉරානයෙන් බොරතෙල් සැපයුම නැවත යථා තත්ත්වයට පත්වනු ඇතැයි ජාත්‍යන්තර බොරතෙල් නිෂ්පාදකයන් සහ නෞකා සමාගම් දැඩි විශ්වාසයෙන් පසුවන බවත්, හෝමූස් සමුද්‍ර සන්ධියේ සිරවී සිටින නාවිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමෙන් පසු ඉදිරියේදී ගෝලීය බොරතෙල් වෙළෙඳපොළ නැවත ශක්තිමත් වනු ඇති බවත් ජාත්‍යන්තර බලශක්ති විශේෂඥයන් අනාවැකි පළ කර ඇතැයිද වාර්තා වේ.




