මිහිතලය වනසන්නේ ”ඊනියා දූෂිත ප්‍රභූ තන්ත්‍රයක්”- එක්සත් ජාතීන්ගේ වාර්තාවක්

දේශගුණ විපර්යාස: මිහිතලය වනසන්නේ ''ඊනියා දූෂිත ප්‍රභූ තන්ත්‍රයක්''- එක්සත් ජාතීන්ගේ වාර්තාවක්

දේශගුණ විපර්යාස: මිහිතලය වනසන්නේ ''ඊනියා දූෂිත ප්‍රභූ තන්ත්‍රයක්''- එක්සත් ජාතීන්ගේ වාර්තාවක්

මිහිතලය විනාශ කෙරෙන දේශගුණ විපර්යාස පාලනය කරගැනීම සඳහා ලෝකයේ ධනකුවේරයන්ගේ ජීවන රටාවේ මහා වෙනසක් කඩිනමින් සිදුකළ යුතුව ඇතැයි වාර්තාවක් මගින් පෙන්වාදෙයි.

එම අවශ්‍යතාව පෙන්වාදෙනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ වාර්තාවක් මගිනි. ලෝක ධනකුවේරයන්ගෙන් 1%ක් විසින් පරිසරයට විමෝචනය කරනු ලබන කාබන් විෂවායු ප්‍රමාණය ලෝකයේ දුප්පත්ම ජනයාගෙන් 50%ක් පරිසරයට විමෝචනය කරන කාබන් ප්‍රමාණයට වඩා දෙගුණයකින් වැඩි බව එම වාර්තාව සඳහන් කරයි.

1990 සහ 2015 අතර කාලය ඇතුළත වැඩිවෙමින් පැවති කාබන් විෂවායු විමෝචනය තක්සේරු කරන විට ඉන් 37%කට ම වගකිව යුත්තේ ලෝකයේ ධන කුවේරයන්ගෙන් 5%කි. එම ඉහත කී එක්සත් ජාතීන්ගේ වාර්තාව එම ධනවත් කණ්ඩායම හඳුන්වනු ලැබ තිබෙන්නේ ”ඊනියා දූෂිත ප්‍රභූ තන්ත්‍රය” යන යෙදුම මගිනි.

ක්‍රීඩා උපයෝගීතාව සහිත එසේම දුෂ්කර භූමියක පවා ධාවනය කළ හැකි මට්ටමින් රෝද හතරම ජව ගැන්වියහැකි පරිදි නිපදවා ඇති ”සිව්රෝද” පාලක (SUV) රථවාහන පදවන රියැදුරන් සහ නිරන්තරයෙන් ගුවන්ගමන්වල නිරතවෙන නිත්‍ය පියාසර කරන්නන්ගේ ක්‍රියාකාරකම් පාලනය සහ ධනහිමියන් තාපය අරපිරිමැස්මෙන් රැකගැනීමට සුදුසු පරිදි ඔවුන්ගේ නිවාස සකස්කර ගැනීම (insulate) ඉහත කී එක්සත් ජාතීන්ගේ වාර්තාවේ කතුවරුන්ගේ උවමනාව වී තිබේ.

එක්සත් රාජධානියට ආපසු පැමිණෙන යානාවල මගීන්ගෙන් අයකරන ගුවන් මගී ගාස්තුව අවලංගු කිරීමට ගත් තීන්දුව වෙනස් කිරීම සම්බන්ධයෙන් නැවත සලකාබලන ලෙසත් එක්සත් ජාතීන්ගේ වාර්තාව එක්සත් රාජධානියේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

මෑතදී ඉවත්කරන ලද හරිත නිවාස දීමනා වැඩසටහන ඇමතිවරුන් විසින් යළි ක්‍රියාවට නංවනු ලැබීම එක්සත් ජාතීන්ගේ වාර්තාවේ කතුවරුන්ගේ තවත් උවමනාවකි.

ඉහත යෝජනා ඇතුළත් ලේඛනය ඉදිරිපත්ව තිබෙන්නේ ‘හැසිරීම් වෙනස්වීම්හි පරිමාණය’ යන තේමාව යටතේ එක්සත් රාජධානිය පදනම් කරගත් කේම්බ්‍රිජ් තිරසර කොමිෂන් සභාවෙනි.

එම කොමිසම පරිසරය කෙරෙහි අදාළවන මිනිස් හැසිරීම් හැදෑරීමක නිරතවෙන පුද්ගලයන් තිස්එක් දෙනකුගෙන් සමන්විත මණ්ඩලයකි.

එම මණ්ඩලයට පැවරී ඇති කාර්යය වන්නේ කාබන් විමෝචනය පාලනය කරගැනීම සඳහා ගත යුතු පියවර නංවාලීමට ගතහැකි වඩාත්ම ඵලදායී ක්‍රියාමාර්ගය හඳුනා ගැනීම ය.

ඒ අතරම ඔවුන්ගේ අදහස් සම්බන්ධයෙන් විවේචන ඉදිරිපත්ව ඇත. එම විවේචකයන් පවසන්නේ විෂවායු විමෝචනය වේගයෙන් කප්පාදු කළහැකි වන්නේ ජනප්‍රිය නොවන විධිවිධාන මගින් නොව තාක්‍ෂණික වැඩිදියුණුකිරීම් මගින් වන බවය.

”තාක්ෂණික වැඩිදියුණු කිරීම් සහ වඩාත් ඵලදායී පියවර සඳහා අපේ පූර්ණ සහයෝගය ලැබෙනවා. නමුත් විෂවායු විමෝචනය වේගයෙන් වැඩිවෙමින් පවතින තත්ත්වය යටතේ වඩාත් බරපතල තීරණ ගැනීමේ අවශ්‍යතාවත් ඉතාම පැහැදිළියි” වාර්තාවේ ප්‍රධාන කතෘ මහාචාර්ය පීටර් නෙවෙල් (Prof Peter Newel) බීබීසී සමඟ සාකච්ඡාවක දී සඳහන් කළේය.

”අප විසින් සිදුකරනු ලබන පරිභෝජනය අඩුකළ යුතුව තියෙනව. මෙය ආරම්භ කරනු ලැබීමට හොඳම තැන වන්නේ අධිපරිභෝජනය සහිත පරිසර දූෂක ප්‍රභූ තන්ත්‍රයෙන්. ඔවුන් පරිසරය රැකගැනීමට කරන දායකත්වයට වඩා වැඩි කාබන් විමෝචනයක් සිදු කරනවා” මහාචාර්ය පීටර් නෙවෙල් පෙන්වා දෙයි.

”ඒ ධනකුවේරයෝ තමයි වැඩිවශයෙන් ගුවන්යානා මගින් පියාසර කරන්නේ. ඔවුන් භාවිත කරන්නේ සුඛෝපභෝගී ලොකු කාර්. ජීවත්වෙන්නේ විශාල මන්දිරවල. ඒවා උණුසුම් කරගැනීම ඔවුන්ට ප්‍රශ්නයක් නොවෙයි. ඒවා විදුලිය පරිභෝජනය අරපිරිමැසුම්දායක ආකාරයට සකස්කරලා තියෙනවද නැද්ද කියන එක ඔවුන්ට ගැටලුවක් නොවෙයි”

”ඇත්තෙන්ම ඔවුන්ට අවශ්‍යනම් පරිසරයට හිතකාමීවෙන ආකාරයට බලශක්තිය අඩුවෙන් පිරිවැය කෙරෙන හොඳ වැඩ පිළිවෙලකට (insulation) යාමේ ආර්ථික ශක්තිය තියෙනව. එහෙමත් නැත්නම් ඔවුන්ට සූර්ය බලශක්තිය වුනත් යොදාගන්න පුළුවන්කම තියෙනව”

මහාචාර්ය නෙවෙල් පෙන්වාදෙන්නේ දේශගුණ විපර්යාසය පාලනය ගැනීමට සියලු දෙනාගේ සාමූහික ප්‍රයත්නයක් අවශ්‍යකරන බවය. එහි තේරුම දුප්පත් ජනතාවට ආදර්ශයක් වන මට්ටමින් පොහොසතුන් අඩුවෙන් බලශක්තිය භාවිත කරනු ලැබීම බවත් මහාචාර්ය පීටර් නෙවෙල් වැඩිදුරටත් සඳහන් කළේය.

මහාචාර්ය නෙවෙල් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් මෙසේ පෙන්වාදෙයි.

“වැඩි වශයෙන් ගුවනේ පියාසර කරන පොහොසතුන් හිතනවා රුක්රෝපණ ව්‍යාපෘතීන් හෝ වායුවට මිශ්‍රව පවතින කාබන් විෂවායුව පාලනය කරගැනීමට වනාන්තර වැඩිකිරීම උපයෝගීකර ගන්න පුළුවන් කියල. නමුත් එවැනි ව්‍යාපෘතීන් බෙහෙවින් විවාදාත්මක මට්ටමකයි පවතින්නේ. ඒ කාලයත් සමඟ එවැනි අදහස් තහවුරුවෙලා නැහැ”

”පොහොසත් මිනිස්සු නිතරම ගුවන් ගමන් ආදියේ නිරතවීම සහ වාහන භාවිතය හැකිතරම් අඩුකරන්න ඕන. ඔවුන්ට තියෙන්නේ විදුලිය බලයෙන් දුවන SUV වාහනයක් වුනත්, ඒවා මගින් බලශක්ති රටාවට බලපෑමක් එල්ලවෙනවා. එක දෙයක් තියෙනව. එය තමයි විෂවායු විමෝචන වැඩිවශයෙන් සිදුවන්නේ රථවාහන නිෂ්පාදනයේ දී වීම”

පරිසර සංරක්ෂණ ජාලයේ සෑම් හෝල් (Sam Hall) බීබීසී සමඟ සාකච්ඡාවක දී මෙබඳු අදහසක් පළකළේය.

”විෂවායු විමෝචන කප්පාදු කිරීමේ ක්‍රියාවලියේ යුක්තිසහගතභාවය සහ වැදගත්කම නිවැරදියි. ඒවගේම මහජනයා සහ ව්‍යාපාරික අංශ හරිත පිළිවෙතක් කරා යාමට ප්‍රතිපත්ති හේතුවෙනවා”

”නමුත් පරිසරය දූෂණය නොකෙරෙන තාක්ෂණය සඳහා දිරිගන්වනු ලැබීම වඩාත් ඵලදායී පියවරක්. ජීවන රටාව සම්බන්ධයෙන් තහංචි දැමීම හෝ විශාල දඩගැසීම් ආදියට වඩා මහජන අභිලාෂය වඩාත් ඵලදරන හැඩක් පෙනෙනවා”

නිතර පියාසර කරන්නන්ගෙන් බද්දක්

එහෙත් මහාචාර්ය පීටර් නෙවෙල් කියා සිටින්නේ පවතින දේශපාලන ව්‍යුහයෙන් ධනවත් සමාගම්වලට අනුග්‍රහ ලැබෙන බවය. එසේම ධනවතුන්ගේ ජීවන රටාව වෙනස් කෙරෙමින් සමාජය තුළ සිදුකළ යුතුව ඇති වෙනස්කම්වලට එරෙහිව කටයුතු කිරීමට පුද්ගලයන්ට පාලනයේ උදව් ලැබෙන බවත් මහාචාර්යවරයා පෙන්වා දෙයි.

මේ සඳහා නිදසුන් වශයෙන් කාබන් පාලනයට අදාළ හැසිරීම් රටාවක් ඉලක්ක කරගත් යෝජනා මාලාවක් පසුගියදා එක්සත් රාජධානියේ දේශගුණ සමුළුව (UK Climate Assembly) විසින් ඉදිරිපත් කරනු ලැබ තිබුණි. මස් සහ කිරි නිෂ්පාදනයෙන් විකල්ප ක්‍රමයක් කරා යොමුවීම, පරිසර දූෂණය හේතුවෙන SUV රථවාහන තහනම් කරනු ලැබීම සහ නිතර ගුවන්ගමන්වල නිරත්වන්නන් මත බදු පැනවීම වැනි යෝජනා කීපයක් ඊට ඇතුළත් විය.

මේ අතර මහා භාණ්ඩාගාරය බීබීසී ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින්, නිරන්තරයෙන් ගුවන් ගමන්හි නිරතවන්නන්ගෙන් බද්දක් අයකිරීම සහ එම එක් එක් ගුවන්මගියාගේ පෞද්ගලික තොරතුරු දත්ත ගබඩාකර තැබීම අවශ්‍යකරනු ඇතැයි සඳහන් කළේය.

එවැනි දත්ත තොරතුරු එක්රැස් කරගැනීම සහ ඒවා පවත්වාගනු ලැබීම නිසා මිනිසුන්ගේ පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් ගැටලු මතු වීමට ඉඩකඩ පවතී. එසේම විදේශ ගමන් බලපත්‍ර කීපයක් භාවිත කරනු ලබන පුද්ගලයන් පිළිබඳ සොයා බැලීම දුෂ්කර කාර්යයක් වනු ඇත.

එහෙත් කොමිෂන් සභා වාර්තාව මෙසේ සඳහන් කරයි.

”සමාජයේ විශේෂයෙන්ම ධනවත් සමාජයේ ජීවන ශෛලියේ වෙනසක් සහ හැසිරීම් රටාවේ දැවැන්ත වෙනසක්, විකල්ප පියවර කරා ගමන් ගැනීමකින් තොරව දේශගුණ විපර්යාසයන් පිළිබඳ පැරිස් සම්මුතියේ ඉලක්ක සපුරා ගැනීමට නොහැකිවනු ඇත.

එය දේශගුණ විපර්යාස පාලනය කරගනු ලැබීම සම්බන්ධයෙන් ”සාධාරණ” ක්‍රියාමාර්ගය කුමක්ද යන්න සම්බන්ධයෙන් දිගුකලක් පැවති විවාදයකට අදාළ අලුත් ම වාර්තාව වෙයි.

මේ අතර ඉන්දියාව වැනි ඉතා දුප්පත් රටවල තර්කය වන්නේ ජනගහනය අනුව බලනවිට පුද්ගල මට්ටමින් ධනවත් රටවලට වඩා තමන්ගෙන් විමෝචනය වන කාබන් ප්‍රමාණය ඉතා පහළ මට්ටමක පවතින හෙයින් එය වැඩි ගැනීමට අවසර ලැබිය යුතු බවය.

ජනාධිපති ජෝ බයිඩන් විසින් සංවිධානය කරනු ලැබ ඇති දේශගුණ සමුළුව ලබන සතියේ ආරම්භවීමට නියමිතය. ඒ අතරම එක්සත් රාජධානියේ පැවැත්වෙන COP දේශගුණ සමුළුව ලබන නොවැම්බර් මාසයේ මුළුදෙනු ඇත. ඉහත සාකච්ඡාවට ගන්නා ලද්දේ එම සමුළු ආරම්භවීමට නියමිතව තිබියදී දේශගුණ විපර්යාසයන්ට අදාළ සාකච්ඡාවන් සම්බන්ධයෙන් පවතින ව්‍යාකූල තත්ත්වයයි.

– BBC

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *