ලංකාවේ ඡන්ද ක්‍රමය ලෝකෙට විහිළුවක් වෙලා – ඩලස් අලහප්පෙරුම

මැතිවරණ ක්‍රම හරහා ශ්‍රී ලංකාව ලෝකයට විහිළු සපයන රටක් බවට පත්ව තිබෙන බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඉරිදා ‘මව්බිම’ට පැවසීය.

මෙම ලෝක විහිළුව වනුයේ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාපිත ආයතන 4 වන ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුව, පළාත් සභා හා පළාත් පාලන ආයතන සඳහා ඡන්ද පැවැත්වීමට ක්‍රම 4ක් යොදා ගැනීම බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

සමස්ත රට ම එක කොට්ඨාසයක් ලෙස ගෙන පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද ක්‍රමවේදය පිළිබඳව කිසිදු ගැටලුවක් නැති බව ද සඳහන් කළ අමාත්‍යවරයා, පාර්ලිමේන්තුව, පළාත් සභා හා පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් තෝරාගැනීමට එකිනෙකට වෙනස් ක්‍රමවේද යොදා ගැනීමෙන් ශ්‍රී ලංකාව ලෝකයට විහිළුවක් වී ඇතැයිද පැවසීය.

පාර්ලිමේන්තු ඡන්දය මනාප ක්‍රමය තුළත්, පළාත් සභා ඡන්ද ක්‍රමය 50:50 ක්‍රමය මගිනුත්, පළාත් පාලන ඡන්ද ක්‍රමය 60:40 අනුපාතයට අනුවත් තෝරා ගැනීමට කටයුතු කිරීම මීට හේතුව වී ඇතැයි ද අලහප්පෙරුම අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ ය.

මෙහිදී මැතිවරණ ක්‍රමය පිළිබඳව දිනේෂ් ගුණවර්ධන කමිටුව වසර 8ක් තිස්සේ ඉතා වෙහෙස මහන්සියෙන් සකසන ලද සියයට 70ක් කොට්ඨාස ක්‍රමය අනුවත් සියයට 30ක් අනුපාත ක්‍රමය අනුවත් නියෝජිතයන් තෝරා ගැනීම ලංකාවට ගැළපෙන ඉතා ම සාර්ථක මැතිවරණ ක්‍රමවේදය බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ ය.

ඒ අනුව, අනුපාත ඡන්ද ක්‍රමයේ තිබෙන සාධනීය ලක්ෂණ රැකගෙන ජනතාවට වගකියන ජනතා නියෝජිතයකු තෝරා ගැනීමේ ක්‍රමවේදය මිස වෙනත් කිසිදු ඡන්ද ක්‍රමයක් මෙරටට නොගැළපෙන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *