ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මාලදිවයිනේ පැවති 8 වැනි කොළඹ ආරක්ෂක සමුළුවට එක්වෙයි!
ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා මාලදිවයිනේ මාලේ නුවර පැවති කොළඹ ආරක්ෂක සමුළුවේ (Colombo Security Conclave – CSC) 8 වැනි ජාතික ආරක්ෂක උපදේශකවරුන්ගේ (NSA) රැස්වීමට සහභාගී වී තිබේ.
කලාපීය රටවල ඉහළ පෙළේ ආරක්ෂක ප්‍රධානීන් අතරට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මෙම සමුළුවට සහභාගී වූ බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
ඊයේ (25) එම සමුළුව අමතමින් ආරක්ෂක ලේකම්වරයා, රැස්වීම සඳහා සත්කාරකත්වය ලබා දීම සහ දැක්වූ ආගන්තුක සත්කාරය පිළිබඳව මාලදිවයින් රජයට සිය ස්තූතිය පළ කළේය.
සංවාදය, සහයෝගීතාවය සහ සාමූහික ක්‍රියාමාර්ග හරහා පොදු ආරක්ෂක අභියෝගවලට මුහුණ දීම සඳහා කොළඹ ආරක්ෂක සමුළුව වසර ගණනාවක් පුරා වැදගත් කලාපීය වේදිකාවක් බවට ක්‍රමයෙන් පරිණාමය වී ඇති බව ඔහු නිරීක්ෂණය කළ බව එම නිවේදනයේ දැක්වේ.
සාමාජික රටවල් අතර වර්ධනය වන සම්බන්ධතාවය තුළින්, තිරසාර සංවර්ධනය සහ සමෘද්ධිය සඳහා කලාපීය ආරක්ෂාව සහ ස්ථාවරත්වය මූලික වන බවට පොදු පිළිගැනීමක් පවතින බව පිළිබිඹු වන බව ඔහු සඳහන් කළේය.
සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතතාව; ත්රස්තවාදයට සහ රැඩිකල්කරණයට එරෙහිව කටයුතු කිරීම; මිනිස් සහ භාණ්ඩ ජාවාරම් මෙන්ම අන්තර්ජාතික සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම; සයිබර් ආරක්ෂාව සහ තීරණාත්මක යටිතල පහසුකම් හා තාක්ෂණය ආරක්ෂා කිරීම; සහ මානුෂීය ආධාර හා ආපදා සහන යන සමුළුවේ සහයෝගීතා කුළුණු පහේ වැදගත්කම ඉස්මතු කරමින්, වඩ වඩාත් අන්තර් සම්බන්ධිත සහ සංකීර්ණ ආරක්ෂක පරිසරයක් තුළ කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කළේය.
තවද, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු පොදු ආරක්ෂක අභියෝගවලට මුහුණ දීමේදී කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ආරක්ෂක ලේකම්වරයා, නීතිය ක්‍රියාත්මක කිරීම වැඩිදියුණු කිරීම, සැපයුම් ජාල බිඳ දැමීම, වැළැක්වීමේ පියවර, මහජනතාව දැනුවත් කිරීම සහ පුනරුත්ථාපන වැඩසටහන් හරහා මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම අරමුණු කරගත් ශ්‍රී ලංකාවේ “රටම එකට” (Ratama Ekata) ජාතික මෙහෙයුම පිළිබඳව කරුණු පැහැදිලි කළ බව එම නිවේදනයේ සඳහන් වේ.
තොරතුරු හුවමාරු කර ගැනීම, සම්බන්ධීකරණය කළ නිරීක්ෂණ සහ ඵලදායී ලෙස නීතිය ක්‍රියාත්මක කිරීම හරහා නීතිවිරෝධී, වාර්තා නොවන සහ නියාමනය නොකළ (IUU) මසුන් ඇල්ලීම මැඩපැවැත්වීම සඳහා වැඩි කලාපීය සහයෝගීතාවයක අවශ්‍යතාව ද ඔහු අවධාරණය කළේය. එමෙන්ම, සමුද්‍රීය කලාපය පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම සහ සම්බන්ධීකරණය කළ කලාපීය ප්‍රතිචාර හරහා තීරණාත්මක යටිතල පහසුකමක් වන මුහුදු යට සන්නිවේදන කේබල් (submarine communication cables) ආරක්ෂා කිරීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළේය.
දිට්වා සුළි කුණාටුවේ (Cyclone Ditwah) මෑතකාලීන අත්දැකීම් පදනම් කර ගනිමින්, කලාපීය ආපදා පෙර සූදානම, පූර්ව අනතුරු ඇඟවීමේ යාන්ත්‍රණයන්, හදිසි ප්‍රතිචාර සම්බන්ධීකරණය, මානුෂීය ආධාර සහ දේශගුණික විපර්යාසවලට අනුවර්තනය වීම හා ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ දැනුම හා හොඳම භාවිතයන් හුවමාරු කර ගැනීම ශක්තිමත් කිරීමේ වැදගත්කම ඔහු වැඩිදුරටත් අවධාරණය කළ බව එහි සඳහන් වේ.
කොළඹ ආරක්ෂක සමුළුවේ අරමුණු සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරණය කළ ඔහු, ප්‍රායෝගික සහයෝගීතාව ශක්තිමත් කිරීමට, ආයතනික සම්බන්ධතාවය වැඩිදියුණු කිරීමට සහ පොදු කලාපීය ආරක්ෂක ප්‍රමුඛතා ඉදිරියට ගෙන යාමට සහභාගී වන සියලුම රටවල් සමඟ සමීපව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව සූදානම් බව ප්‍රකාශ කළේය.
සාමකාමී, සුරක්ෂිත සහ සමෘද්ධිමත් ඉන්දියන් සාගර කලාපයක් වෙනුවෙන් කටයුතු කිරීමට සහභාගී වන රටවලට ඇති සාමූහික වගකීම ද ඔහු පෙන්වා දුන් බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
කලාපීය ආරක්ෂක ප්‍රමුඛතා සාකච්ඡා කිරීමට සහ ඉන්දියන් සාගර කලාපයේ පොදු හා නැගී එන අභියෝගවලට මුහුණ දීමේදී සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට 8 වැනි ජාතික ආරක්ෂක උපදේශකවරුන්ගේ රැස්වීම සඳහා කොළඹ ආරක්ෂක සමුළුවේ සාමාජික රටවල නියෝජිතයින් එක්ව සිටිති.
ජාතික බුද්ධි ප්‍රධානී, විදේශ කටයුතු අමාත්‍යාංශයේ දකුණු ආසියානු සහ සාර්ක් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් වරුණි මුතුකුමාරණ මහත්මිය සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් චින්තක අබේකෝන් මහතා ද ශ්‍රී ලංකා නියෝජිත පිරිසට ඇතුළත් වූහ.
