(Video)බදුර්දීන් ගැන කලින් තිබූ සාක්ෂි පසුව නැති වීම දේශපාලන ඩීල් එකක්දැයි කාදිනල් හිමි සැක කරයි

(Video)බදුර්දීන් ගැන කලින් තිබූ සාක්ෂි පසුව නැති වීම දේශපාලන ඩීල් එකක්දැයි කාදිනල් හිමි සැක කරයි

(Video)බදුර්දීන් ගැන කලින් තිබූ සාක්ෂි පසුව නැති වීම දේශපාලන ඩීල් එකක්දැයි කාදිනල් හිමි සැක කරයි

පාස්කු ඉරු දින ප්‍රහාරයට සෘජුව හා වක්‍රව සම්බන්ධ වු පුද්ගලයින් පිළිබඳව සිදු කරන ලද පරීක්ෂණවලින් අනාවරණය වූ කරුණු මත දැඩි චෝදනා එල්ල වී සැක පිට අත්අඩංගුවේ පසු වූ පුද්ගලයින් අධිකරණ ක්‍රියාවලියකින් තොරව හිටි හැටියේ ම නිදහස් කිරීම පිළිබඳව සිය අප්‍රසාදය හ විමතිය පළ කරන බව අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සඳහන් කරනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ, ඔක්තෝම්බර් 03 වැනි දින කොළඹ අගරදගුරු නිවසේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන්ගේ බාල සොයුරෙකු වන රියාජ් බදුර්දීන් පසුගිය සැප්තැම්බර් 29 වැනි දින නිදහස් වීම සම්බන්ධයෙන් උන් වහනේසේ අදහස් පළ කළේ දැඩි කණගාටුදායක ස්වරූපයකිනි.

පාස්කු ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන් සමඟ සෘජු සම්බන්ධතා පැවැත්වීම, එක් බෝම්බකරුවෙකු සමඟ බෝම්බ පිපිරීමට ආසන්න කාලයේ දී එක්ව ප්‍රසිද්ධ හෝටලයක එකට සිටිමින් සාකච්ඡා කිරීම, විශේෂ සුබසාධන සමිති සාගම් ඇති කර බෝම්කරුවන් සමඟ ඒ සමාගම්වල එකට නිලතල දරමින් කටයුතු කිරීම හා එම සමාගම්වලට බෝම්බකරුවන් ආයෝජන කිරීම යන චෝදනා එල්ල වී රැඳවුම් නියෝග මත මාස 5ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පසු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන්ගේ සොයුරු රියාජ් බදුර්දීන් පසුගිය 29 වැනි දින නිදහස් විය.

එම නිදහස් කිරීම සම්බන්ධයෙන් දින 03කට පසුව කරුණු දක්වමින්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න ඔක්තෝම්බර් 02 වැනි දින පැවැත්වූ මාධ්‍ය හමුවකදී සඳහන් කළේ, ඔහුට අදාළව තිබෙන චෝදනා සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවලදී තවදුරටත් ඔහුට නඩු පැවරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වී නොමැති බැවින් ඔහුව නිදහස් කිරීමට කටයුතු කළ බවයි.

බදුර්දීන් ගැන සැකය නිශ්ප්‍රභ උනා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ‘ඔහුව අත්අඩංගුවට ගත්තේ පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව ඔහුට චෝදනා ඉදිරිපත් කිරීම සඳහා ඔහුට එරෙහිව විමර්ශනයක් ආරම්භ කිරීමට සාධාරණ සැකයක් ගොඩනැඟුණු කරුණු විමර්ශනයේ දී අනාවරණය වීමත් එක්ක. ඒ සැකය තහවුරු වීම හෝ නිෂ්පභ්‍ර වීම තමයි විමර්ශනයේ දී සිදු වන්නේ. ඒ අනුව, ඒ සැකය නිෂ්පභ්‍ර වීමත් එක්ක ඒ සැකකරු මුදාහැරලා තියෙනවා’ යැයි පැවසුවා.

මේ සම්බන්ධයෙන් ඔක්තෝම්බර් 03 වැනි දින පැවති මාධ්‍ය හමුවේ දී අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පෙන්වා දුන්නේ, මීට පෙර පාස්කු ප්‍රහාරයට අදාළව රියාජ් බදුර්දීන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූ කරුණු හා පසුව පැවසූ කරුණු අතර පරස්පරයක් පවතින බවයි.

එම අවස්ථාවේ දී 2020 ජුනි මාසයේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න විසින් සිදු කරන ලද ප්‍රකාශයක වීඩියෝවක් කාදිනල් හිමියන් විසින් මාධ්‍යවේදීන් හට ඉදිරිපත් කරනු ලැබුවා. එම වීඩියෝවේ, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් පවසන්නේ ‘රියාජ් අත්අඩංගුවට ගත්තේ, සෘජුවම ප්‍රහාරකයින් සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට විමර්ශන වලදී අනාවරණය වූ බවට’ තහවුරු වීම නිසා බවයි.

දේශපාලන ඩීල් එකක් තියෙනවාදැයි සැකයි – අති උතුම් කාදිනල් හිමියන්

‘පාස්කු ඉරුදින ප්‍රහාරයට සෘජුව හා වක්‍රව සම්බන්ධ වූ පුද්ගලයින් සම්බන්ධව දැඩි චෝදනා ලැබ සැකකරුවන් ලෙස අත්අඩංගුවේ සිටින පුද්ගලයින් අධිකරණ ක්‍රියාවලියකින් තොරව හිටිහැටියේ ම නිදහස් කර හැරීමේ ප්‍රවණතාවයක් අපි ඊයේ පෙරේදා දැක්කා. ඒ තුළ යම් ආකාරයක දේශපාලන ඩීල් එකක් තියෙනවා ද කියලා සැකයකුත් මගේ හිත තුළ ඇති වෙලා තියෙනවා.

ඒ නිසා මං ආරධනය කරනවා, කරුණාකරලා මේ වැඩපිළිවෙල ඉදිරියට යන එක නවත්වන්න. ඒ වගේම මෙතනදී සිදු වුණේ මොකද්ද කියන එක ගැන පරීක්ෂණයක් පවත්වන්න.

ඇයි මේ මාස 5කට ඉස්සෙල්ලා ත්‍රස්තවාදී කණ්ඩායම සමඟ ගණුදෙනු කෙරුවා කියලා, ඒගොල්ලො එක්ක බිස්නස් කෙරුවා කියලා, ඒගොල්ලො එක්ක සාකච්ඡා පැවැත්වුවා කියලා කියාපු කෙනෙක් එක පාර කිසිම වරදක් නොකරායි කියලා නිදහස් වුනේ?

ඒ හිටපු ඇමතිතුමා සමඟ පහුගිය දවස්වල අමුතුම ජාතියේ සුහදතාවයක් ඇතිවෙලා තිබීම පිළිබඳ අපි දැකලා තිබෙන දර්ශනවලින් පැහැදිලි වෙනවා මොකක් හරි හේතුවක් ඒක පිටුපස්සේ ඇතියි කියලා.

මේ පිළිබඳව ස්වාධීනව පරීක්ෂණයක් පවත්වලා, මේකෙ පිටුපස්සේ ඉන්නේ කවුද කියන එක ගැන සොයලා බලලා ඒ අයට දඬුවම් කරන්නට කටයුතු කරනවායි කියන පොරොන්දුවක් තමයි අපිට ලැබුණෙ. නමුත් අපිට ඒ පොරොන්දුව ඒ ආකාරයෙන් ඉෂ්ට වෙනවාද කියන එක අපිට දැන් ප්‍රශ්නාර්ථයක් බවට පත්වෙලා තියෙනවා” යැයි පැවසුවා.

එමෙන්ම, එම සැකකරු සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවලින් ඔහුට එරෙහිව සාක්ෂි නොමැති වීම සම්බන්ධයෙන් ද අගරදගුරුතුමන් තම අදහස් පළ කළා.

‘ත්‍රස්තවාදී කණ්ඩායමත් සමඟ පැවති දුරකථන සංවාද පවා ඒගොල්ලො ගාව තියෙනවා කියන එක සී.අයි.ඩී. එකේ උදවිය අපිට කිව්වා. එහෙම කියලා ඉවරවෙලා දැන් වරදක් නැහැ. කිසිම දෙයක් හොයාගන්න නැහැයි කියලා එළියට දැම්මම අපිට යම්කිසි වික්ෂිප්තභාවයක් ඇතිවෙනවා’.

කෙසේ වෙතත්, මේ සමගම රිෂාඩ් බදුර්දීන් ආණ්ඩුවට එක් කර ගැනීම සම්බන්ධයෙන් සමාජය තුළ කතිකාවක් නිර්මාණය වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහන් කර සිටියේ ජනතාව තුනෙන් දෙකක ජනවරමක් ආණ්ඩුවට ලබා දුන්නේ රිෂාඩ් බදුර්දීන් ආණ්ඩුවට එක් කර ගැනීමට නොවන බවයි.

ආණ්ඩුවට එන්න හැදුවොත් එළවා දමනවා – ඇමති විමල්

රිෂාඩ් බදුර්දීන් ආණ්ඩුවට එක් කර ගැනීමක් සිදුවුවහොත් තමන් ආණ්ඩුවෙන් ඉවත් වනවාදැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍ය විමල් වීරවංශ පවසා සිටියේ තමන් හැදූ ආණ්ඩුවෙන් තමන් ඉවත් නොවන අතර එවැනි පුද්ගලයින් එක්වීමට පැමිණියොත් එළවා දැමීමට කටයුතු කරන බවයි. එසේම රිෂාඩ් බදුර්දීන් ආණ්ඩුවට එක් කර ගැනීමට තරම් ආණ්ඩුවේ “මෝඩයෙකු” සිටින බව තමන් විශ්වාස නොකරන බව ද ඇමතිවරයා සඳහන් කළේ ය.

“රිෂාඩ් ඉන්න පිලේ පියල් නැත”

රිෂාඩ් බදුර්දීන් සමග ආණ්ඩු කිරීමට ජනතාව ජනවරමක් ලබා දී නැති බව පවසන ශ්‍රී ලංකා පොදුජන පෙරුමණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සඳහන් කළේ රිෂාඩ් බදුර්දීන් සිටින පිලක හෝ කණ්ඩායමක පියල් නිශාන්ත නොමැති බවයි.

අන්තවාදීන් සමග කවදාවත් එක්වන්නේ නෑ – ඇමති නාමල්

තම පාර්ශවය කිසි දිනෙක අන්තවාදීන් සමග සන්ධානගත වන්නේ නැති බව අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා. විපක්ෂයේ මන්ත්‍රීවරුන් උත්සවවලට සහභාගී වූ පමණින් එය ආණ්ඩුවට එක් වීමක් ලෙස අර්ථකතනය නොකළ යුතු බව ද ඇමතිවරයා පවසා සිටියා.

බොරු චෝදනා කරලා අපේ නායකයින්ගේ චරිත ඝාතනය කළා. – විපක්ෂ නායක සජිත්

තම පාර්ශවයේ නායකයින්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට අභූත චෝදනා නගමින් ඔවුන්ගේ චරිත ඝාතනය කිරීම හරහා ආණ්ඩුව දේශපාලන වාසි ලබාගෙන ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ එළෙස එල්ල කළ චෝදනා පදනමක් නොමැති ඒවා බව මේ වන විට තහවුරු වී ඇති බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *