රළ මත ලිස්සා යෑමේ ජාතික ශූරතාවලිය 26-27 ආරුගම්බේ මුහුදු තීරයේදී

රළ මත ලිස්සා යෑමේ ජාතික ශූරතාවලිය 26-27 ආරුගම්බේ මුහුදු තීරයේදී

රළ මත ලිස්සා යෑමේ ජාතික ශූරතාවලිය 26-27 ආරුගම්බේ මුහුදු තීරයේදී

කොවිඩ්  වසංගතයෙන් පසු පැවැත්වෙන පළමු ජාතික ශූරතාවලිය, ඉදිරි වසර පහේදී ක්‍රීඩාවෙන්  ඩොලර් බිලියනයක විදේශ විනිමයක්
ඇමැති නාමල් රාජපක්ෂ  ක්‍රීඩා ආර්ථිකයකට මුල පුරයි, ක්‍රීඩා ඇමැතිගෙන් මාධ්‍යට පැසසුම්

කොවිඩ් වසංගතය ව්‍යාප්ත වූ කාලසීමාව තුළ මෙරට කිසිදු ක්‍රීඩා තරගයක් නොපැව­ැත්වූව ද සිය කාර්ය භාරය ඉහළින්ම ඉටු කරමින් මෙරට ක්‍රීඩා මාධ්‍යවේදින් සිදු කළ සේවය ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ පැසසුමට ලක් විය.

“මම මාධ්‍යවේදින්ට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා කොරෝනා වයිරසයෙන් ක්‍රීඩාව රටේ වැළලී යද්දී ඔබ තමයි එය ඉහළට ඔසවා තැබුවේ. ඔබ සැම ඒ කාලසීමාව තුළ ක්‍රීඩා වාර්තාකරණය නතර කළා නම් මේ රටේ ක්‍රීඩාව නැත්තටම නැති වෙනවා. ඒ නිසා තමයි මා ක්‍රීඩා ඇමැතිවරයා විදියට මේ අමාත්‍යාංශයට එනකොට ක්‍රීඩාව ඉතුරු වෙලා තිබුණේ. මොකද අපි අමාත්‍යාංශයට එද්දී ක්‍රීඩකයන් පිට්ටනියේ හිටියේ නෑ. ඔවුන් හිටියේ නිවාස ඇතුළේ. ඔබ සැම තමයි ක්‍රීඩාව ඉදිරියට අරගෙන ගියේ” ඇමැතිවරයා සඳහන් කළේය.

ඉදිරි වසර 5ක කාලය ඇතුළත මෙරට ආර්ථිකයට ක්‍රීඩාවෙන් ඩොලර් බිලියනයක ආදායමක් එක් කිරීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාවට නැංවීම තම ඉලක්කය බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. මෙරට ආර්ථිකය මෙන්ම ජන ජීවිතය ද ගොඩනඟමින් ක්‍රීඩාව ප්‍රතිසංවිධාන කිරීමේ වැඩ පිළිවෙළක් නිර්මාණය කිරීම සඳහා කැප වන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා රළ මත ලිස්සා යෑමේ සංගමයේ සහ ලංකා ස්පෝර්ට්රයිසින් ආයතනයේ මෙහෙයවීමෙන් මේ මස 26 සහ 27 දෙදින ආරුගම්බේ මුහුදු තීරයේ දී පැවැත්වෙන ‘රළ මත ලිස්සා යෑමේ’ (සර්ෆින්) ජාතික හා විවෘත තරගමාලාව පිළිබඳ පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් ක්‍රීඩා ඇමැතිවරයා සිය අනාගත ඉලක්කය එසේ අනාවරණය කළේය.

කොවිඩ් වසංගතයෙන් පසු මෙරට පැව­ැත්වෙන පළමු ජාතික ශූරතාවලිය බවට පත් වන රළ මත ලිස්සා යෑමේ තරගාවලිය සාර්ථක කර ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයත්, සංචාරක අමාත්‍යාංශයත් අත්වැල් බැඳගනිමින් ක්‍රීඩාවත්, සංචාරක ක්ෂේත්‍රයත් යළි නඟා සිටුවීමේ ජාතික මෙහෙයුමට උරදී සිටී. මේ මස 27 වැනිදාට යෙදී ඇති ලෝක සංචාරක දිනයට සමගාමීව පැවැත්වෙන මේ තරගාවලිය තුළින් නැඟෙනහිර පළාතේ බිඳ වැටුණු සංචාරක ව්‍යාපාරය යළි ඉහළට ඔසවා තැබීමට විශාල දායකත්වයක් ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ.

කෝවිඩ් වසංගතයත් සමඟ ලොව පුරා ක්‍රීඩාව යම් පසුබෑමකට ලක් වුවත් ක්‍රම ක්‍රමයෙන් බොහෝ රටවල් ජාත්‍යන්තර සහ ජාතික තරගවලට නැවැත පිවිසෙමින් සිටින බව අවධාරණය කළ ක්‍රීඩා ඇමැතිවරයා, ඒ අනුව සෞඛ්‍ය උපදෙස් මධ්‍යයේ මෙරට ජාතික මට්ටමේ ක්‍රීඩා තරග ද නැවත ආරම්භ කළ යුතුව ඇතැයි කියා සිටියේය.

ක්‍රීඩාවත්, සංචාරක ව්‍යාපාරයත් රටක ආදායම් ලබන වෘත්තීන් බව සඳහන් කළ ඇමැතිවරයා ක්‍රීඩකයා ව්‍යවසායකු කිරීමේ වැදගත්කම ද මෙහිදී පෙන්වා දුන්නේය.

“ක්‍රීඩකයෙක් කියන්නේ ව්‍යවසායකයෙක්. අපේ රටේ පහුගිය කාලේ ක්‍රීඩකයා දිහා බැලුවේ ඉතාමත් පහත් මට්ටමකින්. සමහර තෝරා ගත්තු ක්‍රීඩාවලට පමණක් අප ඉහළ තැනක් දුන්නත් අප ක්‍රීඩකයා දිහා බැලුවේ අමුතු විදිහකට. ඉතින් මං හිතන්නේ අද අප ක්‍රීඩකයා ව්‍යවසායකයෙක් විදිහට බලන්න ඕනෑ කාලේ ඇවිත්. ලෝකේ බොහෝ රටවල තමන්ගේ පවුලේ දරුවෙක් ක්‍රීඩාවෙන් ඉහළට යනවා කියන්නේ මව්පියන්ට ආඩම්බරයක් වගේම ඒ පවුලට ආදායමක්. නමුත් අපේ සමහර පවුල්වලට දරුවා හොඳින් ක්‍රීඩා කරනවා කියන්නේ මව්පියන්ට හිසරදයක්. ඔවුන්ට පාවහන් ලබාදීමත්, ක්‍රීඩා ඇඳුම් සපයා දීමත්, ඔවුන් ජාතික තරග සඳහා සහභාගි කරවීමත් අපහසු වෙලා. මේක තමයි යථාර්ථය. ඉතින් මේ තත්වයෙන් අපි ක්‍රීඩකයා මුදා ගන්නේ කොහොමද කියලයි බලන්න ඕනෑ.” නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

“අනිත් පැත්තෙන් ක්‍රීඩාවත් එක්ක බැඳුණු ආර්ථිකය දියුණු කරන්නේ කොහොමද. ක්‍රීඩාවත් එක්ක බැඳුණු සංචාරක ව්‍යාපාරය අපි දියුණු කරන්නේ කොහොමද. දකුණු මුහුදු තීරය වෙන්න පුළුවන්. ඇල්ල බදුල්ල බණ්ඩාරවෙල වැනි කඳු වැටි වෙන්න පුළුවන්. මේ සියල්ලම ඒවාට ආවේණික වුණු සංචාරක ව්‍යාපාරයට වගේම ක්‍රීඩාවටත් බැඳුණු ප්‍රදේශ විදියට තමයි ලංකාවේ අප නොදැක්කත් ලෝකයා ඒක දැකලා තියෙන්නේ. හයිකින්වලට නැතිනම් කඳු තරණය කරන්න බොහෝ පිරිසක් විදෙස් රටවලින් ඇල්ලට එනවා. ඒ වගේම වෙරළ ක්‍රීඩා කරන්නත් ලෝකයේ විශාල පිරිසක් ලංකාවට එනවා. ඉතින් මේවා ප්‍රතිසංවිධාන කරලා ඉදිරි කාල සීමාව තුළ ආර්ථක වශයෙන් රටට විදේශ විනිමය ගේන්න පුළුවන් ක්ෂේත්‍රයක් බවට මේ ක්ෂේත්‍රය පරිවර්තනය කරන්න අවශ්‍යයි. ඒ වගේම ක්‍රීඩකයා ව්‍යවසායකයෙක් බවට පත් කරන්න ඕනෑ.” ඔහු කීවේය. “ඩොලර් බිලියනක විදේශ විනිමයක් ඉදිරි වසර 5 තුළ ලැබීමේ අපේ ඉලක්කයයි. මම විශ්වාස කරනවා පෞද්ගලික අංශයත්, රාජ්‍ය අංශයත් එකතුවෙලා මේ ගමන ගියොත් අපට හැකියාව ලැබෙයි අන්න ඒ ඉලක්කය කරා ගමන් කරන්න. මොකද තව දුරටත් අනාගතයේදී ක්‍රීඩාව රටට, ආණ්ඩුවට බරක් නොවන ක්ෂේත්‍රයක් බවට ආයතනයක් බවට පරිවර්තනය කරන්න ඕනෑ. හැබැයි ක්‍රීඩකයාට අසාධාරණයක් වෙන්න තියන්න බෑ. ක්‍රීඩකයාට සාධාරණීයකරණය වෙන්න නම් ක්‍රීඩකයා වෘත්තීමය ක්‍රීඩකයෙක් බවට පත්වෙන්න ඕනා. ක්‍රීඩකයා වෘත්තීය ක්‍රීඩකයෙක් බවට පත්වෙනවා කියන්නේ ක්‍රීඩකයා ඉබේම ව්‍යවසායකයෙක් බවට පත්වෙනවා කියන එකයි. ක්‍රීඩකයා වෘත්තිමය ක්‍රීඩකයෙක් වෙලා ව්‍යවසායකයෙක් බවට පත්වුණාම මේ රටේ ක්‍රීඩා ආර්ථිකයක් ගොඩනැගෙනවා.” ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියේය.

මොබිටෙල් සමාගම සහ ලින් ඒෂියා හෝල්ඩින්ග්ස් සමාගම පූර්ණ අනුග්‍රාහකයන් ලෙස කටයුතු කරන රළ මත ලිස්සා යෑමේ ජාතික හා විවෘත තරගාවලිය ක්‍රීඩා ඉසවුවක් වූවත් ආරුගම්බේ අවට ජනතාවට එය සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට විශාල දායකත්වයක් ලබාදෙන ඉසවුවක් වනු ඇතැයි ද ඇමැතිවරයා විශ්වාසය පළ කළේය.

සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා විශේෂ ආරාධිතයකු ලෙස සහභාගි වූ මේ මාධ්‍ය හමුවට රළ මත ලිස්සා යෑමේ ක්‍රීඩා සංගමයේ සභාපති හිරාන් උක්වත්ත, ලංකා ස්පෝර්ට්රයිසින් ආයතනයේ සභාපති තිලක් වීරසිංහ මහත්වරු ද එක් වූහ.

-ෆවුස් මොහොමඩ්-

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *