බුවනෙකබාහු රාජ මණ්ඩපය විනාශ කළ නගරාධිපති ඇතුළු 5 දෙනෙකුට වරෙන්තු

දෙවන බුවනෙකබාහු රජුගේ රාජසභා මණ්ඩපය කඩා බිඳ දැමීම පිළිබඳව විමර්ශනට පරීක්ෂණ කමිටුවක්..
ඓතිහාසික කුරුණෑගල රාජධානියේ ජීවමාන සාක්ෂියක් ලෙස පැවති පෞරාණික බුවනෙකබාහු රාජ මණ්ඩපය යැයි සැලකෙන ගොඩනැගිල්ල පසුගිය ජුලි 14 වනදා රාත්‍රියේ ඩෝසර් කර කඩා විනාශ කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඇතුළු පස්දෙනෙකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් කුරුණෑගල මහෙස්ත්‍රාතවරයා විසින් වරේන්තු නිකුත් කර තිබේ.
වරෙන්තු කරනු ලැබු අනෙක් පුද්ගලයින් වන්නේ, නාගරික කොමසාරිස් ප්‍රදීප් නිශාන්ත තිලකරත්න, නාගරික ඉංජිනේරු චමින්ද බණ්ඩාර අධිකාරී, වැඩ අධිකාරී ඉලාලුඩීන් සුල්ෆිකාර් සහ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු ලක්ෂ්මන් ප්‍රියන්ත යන පුද්ගලයින් ය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න සහ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ මාධව තෙන්නකෝන් යන මහත්වරුන් දීර්ඝ ලෙස කරුණු දක්වමින් කළ ඉල්ලීම සලකා බැලු කුරණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා එම පුද්ගයින්ට එරෙහි වරෙන්තු නිකුත් කරනු ලැබුවේ ය.