ශ්‍රී ලාංකිකයන්ගේ කිරි පරිභෝජනය සීමාව ඉක්මවලා

ප්‍රමාණය ඉක්මවා ශ්‍රී ලාංකිකයින් දියර කිරි පරිභෝජනය කරන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියයි. රජයේ පශූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිනී වෛද්‍ය හේමමාලී කොතලාවල පැවැසුවේ ලීටර් මිලියන 1250ක් වාර්ෂිකව පරිභෝජනය කරන බවයි.

වෛද්‍ය පර්‌යේෂණායතනයට අනුව ඒක පුද්ගල දෛනික දියර කිරි පරිභෝජනය මිලි ලීටර් 100කි. ඒ අනුව දේශීය වාර්ෂික දියර කිරි අවශ්‍යතාවය ලීටර් මිලියන 750 කි. පවතින දත්තවලට අනුව වාර්ෂිකව දියර කිරි ලීටර් මිලියන පන්සියයක් වැඩියෙන් පරිභෝජනය කරන බවට හෙළිවී තිබේ.

2019 වසරේදී දේශීය දියර කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 422 කි. ඉතිරි දියර කිරි ප්‍රමාණය වන ලීටර් මිලියන 828ක් සඳහා ආනයනික වියළි කිරි පිටි දියර කර ගැනීමෙන් ලබාගෙන තිබෙන බවද ඇය පවසන්නීය. දේශීය දියර කිරි කර්මාන්තය තවමත් යැපුම් මට්ටමේ පැවැතිීම කිරි ආශ්‍රීත කර්මාන්තය දියුණු කිරීමට බලපා තිබෙන බවද තහවුරුවී තිබේ.

දේශීය දියර කිරි කර්මාන්තයෙන් සියයට 60 ක් වියළි කලාපය ආශ්‍රිතව පවත්වාගෙන යන අතර සුළු හා මධ්‍යම පරිමාණ කිරි ගොවීන් වාණිජ මට්ටමේ ගොවි පවුල් දක්වා ඔවුන්ගේ දායකත්වය ඉහළ නැංවීමට පියවර ගත යුතු බවද සංගමය අවධාරණය කරයි.

කිරි දෙණුන් සියයක් හෝ ඊට වැඩි ප්‍රමාණයෙන් ඇති කරන වාණිජ ගොවිපළ ආරම්භ කිරීමට අවධානය යොමු කළයුතු බව කී හේමමාලී කොතලාවල මහත්මිය දේශීය කිරි කර්මාන්තය යැපුම් මට්ටමින් ඉවත් කර ගැනීම මගින් කිරි පිටි ආනයනයට වාර්ෂිකව වැය කරන රුපියල් බිලියන 50ක් හෝ ඊට වැඩි මුදල මෙරට සංවර්ධනයට ඉතිරි කර ගත හැකි බවද පැවැසුවාය.

දේශීය දියර කිරි කර්මාන්තය සඳහා අඩු ආදායම් ලබන පවුල් දායක කර ගැනීම තවදුරටත් ඉහළ නැංවීමෙන් ඔවුන්ගේ ආදායම ඉහළ නැංවෙන අතර, දියර කිරි පරිභෝජනයෙන් පවුලේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවෙන බවද කීවාය.
-ada-

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *