වීදි සුනඛයින්ගේ තොරතුරු සහ එන්නත් වාර්තා පහසුවෙන් දැනගැනීමට මයික්රෝචිප් ක්රමයක්!
සැරිසරන (හිමිකරුවෙකු නොමැති) සුනඛයින්ගේ තොරතුරු රැස්කර පවත්වාගෙන යාම සඳහා උන්ගේ සිරුරට මයික්රෝචිප් (microchips) සවිකිරීමේ වැඩසටහනක් හෝමාගම ප්රාදේශීය සභාවේ මැදිහත්වීමෙන් ආරම්භ කර ඇත.
සුනඛයෙකු සපා කෑමකදී හෝ වෙනත් අත්යවශ්ය අවශ්යතාවයකදී, එම සත්වයාගේ එන්නත් ලබාගැනීමේ තත්ත්වය සහ පසුවන ස්ථානය ඇතුළු සමස්ත තොරතුරු ලබාගැනීමට මෙම පද්ධතිය මගින් බලධාරීන්ට හැකියාව ලැබේ.
දිවයින පුරා බොහෝ ප්රදේශවල හිමිකරුවන් නොමැති සැරිසරන සුනඛයින් දැකගත හැකි අතර, සංචාරක නගරයක් වන ගාල්ල ප්රදේශය ද මේ වන විට සැරිසරන වීදි සුනඛයින් හේතුවෙන් බරපතල ගැටලුවකට මුහුණ දෙමින් සිටියි.
මෙවැනි සැරිසරන සුනඛයින් පිළිබඳ නිවැරදි දත්ත සහ සංඛ්යාලේඛන ලබාගැනීම තවමත් අභියෝගාත්මක කාර්යයක්ව පවතී.
මෙම පසුබිම හමුවේ, හෝමාගම ප්රාදේශීය සභාවේ මැදිහත්වීමෙන් සැරිසරන සුනඛයින් වෙත මයික්රෝචිප් ඇතුළත් කර උන්ගේ තොරතුරු රැස්කිරීමේ මෙම වැඩසටහන ආරම්භ කර තිබේ.
මෙම පියවර ඔස්සේ, සැරිසරන සුනඛයෙකු සපා කෑමකදී හෝ එවැනි තොරතුරක් අවශ්ය වන ඕනෑම අවස්ථාවක, අදාළ සත්වයාගේ එන්නත් ලබාගැනීමේ තත්ත්වය සහ ශාරීරික තත්ත්වය පිළිබඳ පූර්ණ වාර්තාවක් ලබා ගැනීමට බලධාරීන්ට හැකි වනු ඇත.
ඊට අමතරව, මෙම පද්ධතිය මගින් සතුන් සිටින ස්ථානය හඳුනා ගැනීමට සහ නිරීක්ෂණය කිරීමට ද බලධාරීන්ට හැකියාව ලැබෙනු ඇත.
මේ අතර, සුනඛයින්ට එන්නත් ලබාදීම සහ ලියාපදිංචි කිරීම මගින් ජලභීතිකා රෝගය තුරන් කිරීම අරමුණු කරගත් වැඩසටහනක් පසුගියදා හැටන්-ඩික්ඔය නගර සභා ශාලාවේදී ද පවත්වන ලදී.
