බැංකු ගිණුම්, ඉඩම් හා වාහන ලියාපදිංචිය ඇතුළු ප්‍රධාන ගනුදෙනු සඳහා අද සිට TIN අංකය අනිවාර්යයි!
අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි නිශ්චිත ගනුදෙනු කිහිපයක් සිදු කිරීමේදී වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
ඒ අනුව, බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ගිණුමක් ආරම්භ කිරීමේදී, ගොඩනැගිලි සැලසුම් අනුමත කර ගැනීමේදී, මෝටර් රථයක් ලියාපදිංචි කිරීමේදී සහ මෝටර් රථ බලපත්‍රයක් අලුත් කිරීමේදී TIN අංකය ඉදිරිපත් කළ යුතු බව දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඊට අමතරව, ඉඩම් හෝ ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීමේදී, ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේදී, ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සමාගමක කොටස් පැවරීමේදී සහ ණය පතක් (Credit card) ලබා ගැනීමේදී ද වලංගු TIN අංකයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බව දෙපාර්තමේන්තුව ඉස්මතු කර පෙන්වා දුන්නේය.
අදාළ ගනුදෙනු සිදු කිරීමට පෙර අදාළ නිලධාරීන් විසින් TIN අංකයේ වලංගුභාවය පරීක්ෂා කළ යුතු බව ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.
මෙතෙක් TIN අංකයක් ලබාගෙන නොමැති පුද්ගලයන්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ‘e-Services’ පෝටලය (portal) ඔස්සේ ඊට ලියාපදිංචි විය හැකි බව දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දී ඇත.
මීට අමතරව, පවතින TIN අංකයක වලංගුභාවය පරීක්ෂා කිරීම සඳහා ද දෙපාර්තමේන්තුවේ ‘e-Services’ පෝටලය ඔස්සේ පහසුකම් සලසා ඇත.
පරීක්ෂා කිරීම සාර්ථක වූ පසු TIN අංකය තිරයේ දර්ශනය වන බව දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා දැනුම් දී තිබේ. පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පත් (NIC) අංකය සහ TIN අංකය පැහැදිලිව දර්ශනය වන මුද්‍රිත පිටපතක්, නිල TIN සහතිකය වෙනුවට අදාළ නිශ්චිත ගනුදෙනු සඳහා භාරගනු ලැබේ.
මේ අතර, වයස අවුරුදු 18ට වැඩි සියලුම පුද්ගලයන් සඳහා බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් (TIN) ලබා ගැනීම අනිවාර්ය වුවද, සෑම දෙනාම බදු ගෙවිය යුතු බවට පැතිර යන වාර්තා අසත්‍ය බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැහැදිලි කර ඇත.
යම් පුද්ගලයෙකුගේ වාර්ෂික ආදායම රුපියල් මිලියන 1.8 ඉක්මවන්නේ නම් පමණක් ඔවුන් ආදායම් බදු ගෙවීමට යටත් වන බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැහැදිලි කළේය.
එසේම, වයස අවුරුදු 18ට වැඩි ශ්‍රී ලාංකිකයින් මිලියන 13කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට TIN අංක ලබාගෙන ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.
