රාජ්‍ය ආදායම් සුරැකීමට දේශීය ආදායම් සහ සුරාබදු දෙපාර්තමේන්තු අතර හදිසි අවබෝධතා ගිවිසුමක්!
බදු වංචා සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ අරමුණින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) සහ සුරාබදු දෙපාර්තමේන්තුව අතර අවබෝධතා ගිවිසුමකට (MoU) අද (21) අත්සන් තබන ලදී.
ඒ අනුව, දෙපාර්තමේන්තු දෙක අතර බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමටත්, ලැබෙන තොරතුරු පදනම් කරගනිමින් සමාන්තර විමර්ශන පවත්වාගෙන යාමටත් ඒකාබද්ධ යාන්ත්‍රණයක් ස්ථාපිත කෙරෙනු ඇත.
2026 අගෝස්තු 04 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, 2026 අංක 16 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන) පනත යටතේ, දේශීය ආදායම් පනතේ 189 වන වගන්තිය යටතේ කෙරෙන බදු වංචා සම්බන්ධ වැරදි සහ සුරාබදු ආඥාපනත යටතේ වන වැරදි මුදල් විශුද්ධිකරණයට අදාළ නීති විරෝධී ක්‍රියාකාරකම් ලෙස සලකනු ලබයි.
ඊට අනුකූලව, රාජ්‍ය සම්පත් කාර්යක්ෂමව භාවිත කරමින් මෙවැනි වැරදිවලට එරෙහිව ඒකාබද්ධව කටයුතු කිරීම මෙම ගිවිසුමේ මූලික අරමුණ වේ.
මෙම පියවර මගින් බදු වංචාවලට අදාළ විගණනයන් පුළුල් කිරීම, නීති විරෝධී මූල්‍ය ප්රවාහයන් අවම කිරීම සහ රාජ්‍ය ආදායම් එකතු කිරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීම අපේක්ෂා කෙරේ.
මුදල් අමාත්‍යාංශයේදී, භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ඒ.එන්. හපුගල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබන ලදී.
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු මහත්මිය සහ සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න මහතා විසින් අදාළ ගිවිසුමට අත්සන් තබන ලදී.
