අසනීප බව කීවත් වැඩේ පත්තු වෙයි: ඥානසාර හිමියන්ට අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු!
ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන ඔක්තෝබර් 1 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය පොලිස්පතිවරයාට නියෝග කළේය.
එහිදී අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කළ අතර එය පොලිස්පතිවරයා විසින් බලාත්මක කරන ලෙසට ද නියෝග කෙරිණි.
ඥානසාර හිමියන්ට දී තිබූ ජනාධිපති සමාව අහෝසි කළ ශ්රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව, අභියාචනාධිකරණය නියම කළ සිර දඬුවමේ ඉතිරි කාලය ක්රියාත්මක විය යුතු බවට බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් කරන ලද ඉල්ලීමක් අනුව නීතිපතිවරයා ගොනුකරන ලද මෝසමක් ඊයේ (29) දිනයේදී අභියාචනාධිකරණය ඉදිරියේ විභාගයට ගනු ලැබීය.
එම මෝසම මායාදුන්නේ කොරයා සහ ලක්මාලී කරුණානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී නඩුව උදෑසන 10ට විභාගයට ගත් මොහොතේ ඉදිරිපත් වූ ඥානසාර හිමිගේ නීතිඥවරයා වන ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා කියා සිටියේ ඥානසාර හිමි සැත්කමක් සිදුකොට විහාරයේ විවේක සුවයෙන් පසුවෙන බවත් මේ මොහොතේ ඒ පිළිබඳ වෛද්ය වාර්තා නොමැති බවත්ය.
ඒ අවස්ථාවේ දී නීතිපති දෙපාර්තමේන්තුව ප්රකාශ කළේ එය පිළිගත නොහැකි බවත්, ඥානසාර හිමිට වරෙන්තු නිකුත් කරන ලෙසත්ය.
ඒ අනුව නඩුව කල් තැබූ අතර යළි දහවල් 12.30ට විභාගයට ගැනුණි.
එහිදී ඥානසාර හිමි වෛද්ය සහතික ඉදිරිපත් කර නොමැති බැවින් රෝගී තත්ත්වය ගැන නිදහසට කරුණු පිළිගත නොහැකි බවත් අත්අඩංගුවට ගෙන ඔක්තෝබර් 1 අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් අභියාචනාධිකරණය නියෝග කළේය.
නඩුව යළි ලබන පළවැනිදා විභාගයට ගැනීමට නියමිතය.
නඩුව උදෑසන කැඳවූ අවස්ථාවේ දී ජනාධිපති සමාව අහෝසි කරනු ලැබූ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව පවතින සිරදඬුවම ක්රියාත්මක කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස නීතිපතිවරයා විසින් ඉල්ලා සිටින ලදී.
එම අවස්ථාවේදී ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත. ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා සඳහන් කළේ සිය සේවාදායක හිමියන් අසනීප තත්ත්වයෙන් විවේක ගන්නා බවත් මෙම මෝසම පිළිබඳව අධ්යයනය කර කරුණු දැක්වීම සඳහා තමන්ට දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත්ය.
එහෙත් රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා සඳහන් කළේ මෙය අපරාධ නඩුවක් බවයි.
විත්තිකරු අධිකරණයට නොපැමිණෙන්නේ නම් වරෙන්තු නිකුත් කරන ලෙසත් රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
පිත්තාශයේ කළ සැත්කමක් හේතුවෙන් උසාවියට ඒමට අපහසු බව ඒ අවස්ථාවේ දී නීතිඥවරයා දන්වා සිටියේය.
ඉන් අනතුරුව ඥානසාර හිමි අධිකරණයට එනතුරු නඩුව කල් තැබීමට නියෝග කළ අතර නීතිපති දෙපාර්තමේන්තුවද ඊට එකඟතාව පළ කළේය.
ඒ.ජේ.ඒ. අබේනායක
