ඇමෙරිකාව ඉරානයේදී යුද අපරාධ සිදුකළ බවට එක්සත් ජාතීන්ගෙන් වාර්තාවක්
ඉරානයට එල්ල කළ ප්‍රහාර දෙකකදී අමෙරිකාව යුද අපරාධ සිදුකර ඇති බව විශ්වාස කිරීමට සාධාරණ පදනමක් පවතින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් පවසා තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ ඉරානය පිළිබඳ ස්වාධීන ජාත්‍යන්තර කරුණු සෙවීමේ මෙහෙයුම විසින් නිකුත් කළ නව වාර්තාවක මේ බව සඳහන් වන බවයි BBC පුවත් සේවය සඳහන් කරන්නේ.
ඒ අනුව, පෙබරවාරි මාසයේදී ඉරානයේ මිනාබ් ප්‍රදේශයේ පාසලකට සහ ලැමෙර්ඩ් ප්‍රදේශයේ ක්‍රීඩා සංකීර්ණයකට එල්ල වූ මිසයිල ප්‍රහාර දෙකක් පිළිබඳව එම විශේෂඥයන් විමර්ශනය කර තිබෙනවා.
එම ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් අවම වශයෙන් 177 දෙනෙකු මියගොස් ඇති අතර, ඒවා සිවිල් වැසියන්ට සහ සිවිල් යටිතල පහසුකම්වලට හානි සිදුකළ අවිධිමත් ප්‍රහාර ලෙස සැලකිය හැකි බවයි විශේෂඥයන් පවසන්නේ.
පසුගිය පෙබරවාරි 28 වැනිදා මිනාබ් නගරයේ Shajareh Tayyebeh පාසලට Tomahawk මිසයිල ප්‍රහාර එල්ල වී තිබුණා.
ප්‍රාදේශීය බලධාරීන්ට අනුව, එම ප්‍රහාරයෙන් පුද්ගලයින් අවම වශයෙන් 156 දෙනෙකු මියගොස් ඇති අතර, ඔවුන් අතර සිසුන් 120 දෙනෙකුද සිටින බව සඳහන්.
පාසල ආසන්නයේ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ නාවික සංකීර්ණයක්ද පිහිටා තිබූ අතර, එයද එදින ප්‍රහාරයට ලක්ව ඇති බව එම වාර්තාවේ දැක්වෙන බවයි විදෙස් වාර්තා සඳහන් කර තිබෙන්නේ.
කෙසේ වෙතත්, පාසල පැහැදිලිව හඳුනාගත හැකි සිවිල් ස්ථානයක් බවත්, එය හමුදාමය කටයුතු සඳහා භාවිත කළ බවට කිසිදු තොරතුරක් නොමැති බවත්, එක්සත් ජාතීන්ගේ විශේෂඥයන් සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
Tomahawk මිසයිල සතුව ඇත්තේ ගැටුමේ පාර්ශ්ව අතරින් අමෙරිකාවට පමණක් බව ඇතුළු කරුණු මත, එම ප්‍රහාරය අමෙරිකාව විසින් එල්ල කළ බව විශ්වාස කිරීමට සාධාරණ පදනමක් ඇති බවයි ඔවුන් පවසන්නේ.
එමෙන්ම පාසලට එල්ල වූ ප්‍රහාරය අහම්බෙන් සිදුවූවක් හෝ ආසන්නයේ තිබූ හමුදා ඉලක්කයකට එල්ල කළ ප්‍රහාරයක අතුරු ප්‍රතිඵලයක් නොවන බවත්, පාසලම ඉලක්ක කරගෙන ප්‍රහාරය එල්ල කර ඇති බවට සාක්ෂි පවතින බවත්, වාර්තාවේ සඳහන් බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කෙසේ වෙතත්, මිනාබ් ප්‍රහාරය සම්බන්ධයෙන් අමෙරිකානු හමුදාව මෙතෙක් සිය විමර්ශන වාර්තාව නිකුත් කර නොමැති අතර, සිවිල් ඉලක්ක කිසිවිටෙකත් ඉලක්ක නොකරන බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසා තිබෙනවා.
මේ අතර, ලැමෙර්ඩ් නගරයේ ක්‍රීඩා සංකීර්ණයකට සහ නේවාසික ප්‍රදේශයකට එල්ල වූ ප්‍රහාරයකින් අවම වශයෙන් සිවිල් වැසියන් 21 දෙනෙකු මියගොස් ඇති අතර, ඒ අතර සිසුන් හත්දෙනෙකුද සිටින බව ප්‍රාදේශීය බලධාරීන් පවසනවා.
එම ප්‍රහාරය සඳහා භාවිත කළ බවට සැක කෙරෙන Precision Strike Missiles මගින් ටංස්ටන් කැබලි විසිරී ඇති බව සඳහන්.
එම ක්‍රීඩා සංකීර්ණයද පැහැදිලිව හඳුනාගත හැකි සිවිල් ස්ථානයක් බවත්, එය හමුදා කටයුතු සඳහා භාවිත කළ බවට තොරතුරු නොමැති බවත්, විශේෂඥයන් පවසා තිබෙනවා.
කෙසේ වෙතත්, ලැමෙර්ඩ් වෙත එදින කිසිදු ප්‍රහාරයක් එල්ල නොකළ බව අමෙරිකානු හමුදාව ප්‍රකාශ කර ඇති අතර, භාවිත කළ අවිය Precision Strike Missile එකක් බවට පළ වූ වාර්තාද ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.
මෙම ප්‍රහාර දෙක සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විශේෂඥයන් සඳහන් කර ඇත්තේ, සිවිල් වැසියන් මියයාමට හෝ තුවාල වීමට සහ දේපල හානි වීමට හේතු වූ අවිධිමත් ප්‍රහාර එල්ල කිරීමේ යුද අපරාධය අමෙරිකාව විසින් සිදුකර ඇති බව විශ්වාස කිරීමට සාධාරණ පදනමක් පවතින බවයි.
