රු.මිලියන 200ක හෂීෂ් තොගයක් සමග විදෙස් ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට
රු.මිලියන 200ක හෂීෂ් තොගයක් සමග විදෙස් ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට
රුපියල් මිලියන 201.89ක් වටිනා හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ කැනේඩියානු ජාතිකයකු ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ (NCU) නිලධාරීන් විසින් ඊයේ (26) අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරු 27 හැවිරිදි තරුණයකු වන අතර ඔහු වෘත්තියෙන් චිත්‍ර ශිල්පියකු ලෙස කටයුතු කරන්නෙකි. සැකකරු කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ සිට කටාර්හි දෝහා හරහා කටාර් ගුවන් සේවයට අයත් QR662 දරන ගුවන් යානයෙන් 26 වැනි දින අලුයම 2.30ට පමණ දිවයිනට පැමිණ තිබේ.
ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් සැකකරුගේ ලියාපදිංචි ගමන් මලු දෙක පරීක්ෂා කිරීමේදී, ඒවා තුළ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ දුඹුරු පැහැති හෂීස් තහඩු 80ක් සොයා ගැනීමට හැකි වී ඇත. මෙම මත්ද්‍රව්‍ය තොගයේ මුළු බර ග්‍රෑම් 20,117ක් (කිලෝග්‍රෑම් 20.117ක්) බව රේගු නිලධාරීහු සඳහන් කළහ. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ ඇස්තමේන්තුගත වීථි වටිනාකම රුපියල් මිලියන 201.89ක් පමණ වන බවට ගණන් බලා ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් ආරම්භ කර ඇති අතර, ඉදිරි විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා සැකකරු සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) වෙත භාර දී තිබේ.




