ජනාධිපති නීතිඥවරු පත් කිරීමට අයදුම්පත් කැඳවමින් ගැසට් පත්‍රය නිකුත් කෙරේ
ජනාධිපති නීතිඥවරු පත් කිරීමට අයදුම්පත් කැඳවමින් ගැසට් පත්‍රය නිකුත් කෙරේ
2026 වසරට අදාල ජනාධිපති නිතිඥවරුන් පත් කිරීමට අදාල අයදුම්පත්ද මේ වන විට කැඳවා තිබේ.
ඒ සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥවරුන් පත් කිරීමේ මාර්ගෝපදේශ සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නියමය පරිදි ජනාධිපති ලේකම්වරයා විසිනුයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.
ඒ අනුව ජනාධිපති නීතිඥ පත්කිරීම් සඳහා මෙතෙක් පැවති එක් ප්‍රධාන විධිවිධානයක් සංශෝධනය කර තිබෙනවා.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(ඉ) ව්‍යවස්ථාව ප්‍රකාරව මෙම පත්කිරීම් සිදු කෙරෙනවා.
2026 ජූලි 24 දින නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය මඟින් ඒ සඳහා වන සුදුසුකම් හා අයදුම් කිරීමේ ක්‍රියාපටිපාටිය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
අයදුම්කරුවන් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයකු විය යුතු අතර, වෘත්තීය ජ්‍යෙෂ්ඨත්වය, අවංකභාවය, යහපත් චරිතය සහ නීති ක්ෂේත්‍රයට, රාජ්‍ය සේවයට හෝ ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් සිදු කළ විශිෂ්ට දායකත්වයක් තිබිය යුතු බව ගැසට් නිවේදනයේ සඳහන්.
එමෙන්ම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර නොතිබීම, අධිකරණයේ ස්වාධීනත්වයට හානිවන ක්‍රියාවල නිරත නොවීම, වෘත්තීය විනය ක්‍රියාමාර්ගවලට ලක් නොවීම, අධිකරණයට අපහාස කිරීම හෝ බරපතළ අපරාධ සම්බන්ධයෙන් වරදකරු වී නොතිබීම ඇතුළු සුදුසුකම්ද සපුරා තිබිය යුතුයි.
අවම වශයෙන් වසර 20ක කාලයක් ශ්‍රී ලංකාවේ නීතිඥයකු ලෙස කටයුතු කර තිබීම සහ අයදුම්පත ඉදිරිපත් කිරීමට පෙර අවම වශයෙන් වසර පහක කාලයක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් බදු ගෙවන්නෙකු ලෙස ලියාපදිංචි වී සිටීමද අනිවාර්ය කොන්දේසි අතර වෙනවා.
නීති හා ප්‍රතිපත්ති සම්බන්ධ ග්‍රන්ථ සහ ලිපි පළ කිරීම, පර්යේෂණ කටයුතු, විශ්වවිද්‍යාල ඉගැන්වීම් සහ නීති ක්ෂේත්‍රයේ විද්වත් දායකත්වය වැනි අමතර සුදුසුකම්ද තේරීම් ක්‍රියාවලියේදී සැලකිල්ලට ගන්නා බව නිවේදනයේ සඳහන්.
සම්පූර්ණ කරන ලද අයදුම්පත් සහ අදාළ ලේඛන 2026 අගෝස්තු 31 දිනට පෙර “ජනාධිපති ලේකම්, ජනාධිපති කාර්යාලය, කොළඹ 01” යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතු අතර, අයදුම්පත්‍රය ජනාධිපති කාර්යාලයේ නිල වෙබ් අඩවියෙන්ද ලබාගත හැකි බව දැනුම් දී තිබෙනවා.




