තහනම් උත්තේජක නීති උල්ලංඝනය කිරීම නිසා පාකිස්ථාන ක්‍රීඩක මොහොමඩ් නවාස්ට ICC යෙන් මාස 3ක ක්‍රිකට් තහනමක්
ලෝක කුසලාන තරගාවලිය අතරතුර ශ්‍රී ලංකාවේ දී ගංජා සුරුට්ටු ඇද්ද පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයාට තහනමක්
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) තහනම් උත්තේජක මර්දන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් පාකිස්ථාන කණ්ඩායමේ 32 හැවිරිදි තුන්ඉරියව් ක්‍රීඩක මොහොමඩ් නවාස් වෙත මාස තුනක ක්‍රිකට් තහනමක් පැනවීමට ICC පියවර ගෙන තිබේ.
පසුගිය පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැති පිරිමි විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී නෙදර්ලන්තයට එරෙහිව පැවැති තරගයෙන් අනතුරුව සිදු කරන ලද මුත්‍රා පරීක්ෂණයකදී, නවාස්ගේ ශරීරය තුළ ගංජාවල අඩංගු මනෝභාවයන් වෙනස් කරන රසායනික සංරචකයක් හමු වී ඇති බව වාර්තා වේ.
නවාස් තමන් අතින් සිදු වූ මෙම නීති උල්ලංඝනය කිරීම සෘජුවම පිළිගෙන ඇති අතර, අදාළ ද්‍රව්‍යය තරගාවලියෙන් බැහැර අවස්ථාවකදී සහ ක්‍රීඩා දක්ෂතා ඉහළ නැංවීමට කිසිදු අදාළත්වයක් නොමැති ලෙස භාවිත කරන ලද්දක් බව ඔප්පු කිරීමට ඔහු සමත් වූ බව ICC ය තහවුරු කරයි.
ICC නිවේදනයට අනුව මෙම තහනම ඔහු ස්වේච්ඡාවෙන්ම තාවකාලික තරග තහනමකට යටත් වූ 2026 මැයි 01 වනදා සිට බලපැවැත්වේ. එමෙන්ම අදාළ ද්‍රව්‍ය භාවිතය පිළිබඳ විධිමත් ප්‍රතිකාර සහ පුනරුත්ථාපන වැඩසටහනකට සහභාගී වීමට නවාස් එකඟ වී ඇති අතර, එය සාර්ථකව අවසන් කිරීමෙන් පසු ඔහුගේ සමස්ත තහනම් කාලය මාසයක් දක්වා අඩු කිරීමට නියමිතය.





