2027 සිට ඊශ්‍රායල රැකියා බඳවාගැනීම් G-to-G ක්‍රමයට විතරයි: විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් දැනුම්දීමක්!
ඊශ්‍රායල රජය මඟින් ගනු ලැබූ නව ප්‍රතිපත්තිමය තීරණයකට අනුව, 2027 ජනවාරි 01 වැනිදා සිට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ඊශ්‍රායලයේ රැකියා සඳහා බඳවා ගැනීම දෙරට අතර ඇති කරගනු ලබන රජයන් අතර ගිවිසුම් (Government-to-Government – G to G) යටතේ පමණක් සිදු කිරීමට තීරණය කර ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත දැනුම් දී තිබේ.
ඒ අනුව, බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන හරහා දැනට ක්‍රියාත්මක වන ඊශ්‍රායල රැකියා සඳහා බඳවා ගැනීමේ වැඩසටහන 2026 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන බව කාර්යාංශය සඳහන් කරයි. 2027 වර්ෂය සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත නව බඳවා ගැනීමේ ක්‍රමවේදය, සීමාවන් සහ තෝරා ගැනීමේ ක්‍රියාපටිපාටිය පිළිබඳ නිල තොරතුරු මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.
මීට පෙර ඊශ්‍රායලයේ ඉදිකිරීම් (Construction), කාර්මික (Industrial) සහ වාණිජ හා සේවා (Commerce & Services) යන ක්ෂේත්රවල රැකියා සඳහා බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන හරහා ශ්‍රමිකයන් බඳවා ගැනීමට අවසර ලබා දී තිබුණි. එහෙත් මෙම ක්ෂේත්රවල හෝ වෙනත් ඕනෑම ක්ෂේත්රයක ඊශ්‍රායලයේ නව රැකියා ලබා දෙන බවට කරනු ලබන පෞද්ගලික අංශයේ පොරොන්දු සම්බන්ධයෙන් රැකියා අපේක්ෂකයන් විමසිලිමත් විය යුතු බව දන්වා සිටියි.
ඊශ්‍රායල රැකියා ලබා දෙන බව පවසමින් කිසිදු පුද්ගලයෙකුට හෝ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනයකට මුදල් ගෙවීමෙන් වළකින ලෙසත්, කාර්යාංශය විසින් නිල වශයෙන් දැනුම් දෙන තුරු පෞද්ගලික අංශය මඟින් පවත්වනු ලබන කුසලතා පරීක්ෂණ, සම්මුඛ පරීක්ෂණ හෝ වෙනත් තෝරා ගැනීමේ ක්‍රියාවලීන් සඳහා සහභාගී වීමෙන් වළකින ලෙසත් රැකියා අපේක්ෂකයන්ට උපදෙස් දෙනු ලැබේ. එසේම විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිකුත් කරනු ලබන නිල නිවේදන කෙරෙහි පමණක් අවධානය යොමු කරන ලෙස ද මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
දැනටමත් ඊශ්‍රායල රැකියා සඳහා නීත්‍යානුකූලව මුදල් ගෙවා ඇති පුද්ගලයන් මේ සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැති අතර, ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ උපදෙස් ඉදිරියේදී නිල වශයෙන් කාර්යාංශය මඟින් දැනුම් දෙනු ඇත. එලෙස නීත්‍යානුකූලව මුදල් ගෙවා ඇති පුද්ගලයන් පිළිබඳ තොරතුරු බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන වෙතින් කාර්යාංශය මඟින් ඉල්ලා ඇති අතර, එම තොරතුරු මත පදනම්ව ඉදිරි කටයුතු සිදු කෙරේ. එබැවින් එම කරුණු සම්බන්ධයෙන් දැනට වෙනත් වෙනම පෞද්ගලිකව ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බව ද, වංචාවක් හෝ වෙනත් විශේෂ ගැටලුවක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට අවශ්‍ය පුද්ගලයන්ට සාමාන්‍ය පැමිණිලි ක්‍රමවේදය අනුව කටයුතු කළ හැකි බව ද කාර්යාංශය වැඩිදුරටත් දැනුම් දෙයි.
ඊශ්‍රායල රැකියා අපේක්ෂකයන්ගේ අභිවෘද්ධිය හා සුභසාධනය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ අදාළ ඊශ්‍රායල බලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් අවශ්‍ය කටයුතු සිදු කරමින් පවති.
