අනෝජන් සිවරාසාගේ ජීවිතය බේරාගත් රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමට මියන්මාරයෙන් ජනපතිට කෘතඥතාව!

0

සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි ශ්‍රී ලාංකිකයෙකු වන අනෝජන් සිවරාසා මහතාට පනවා තිබූ මරණ දඬුවම ඉවත් කර ගැනීමට දැක්වූ දූත සහ මානුෂීය මැදිහත්වීම් අගය කරමින්, හින්දු මුන්නානි මියන්මාර් (Hindu Munnani Myanmar) සංවිධානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ ශ්‍රී ලංකා රජයට සිය කෘතඥතාව පළ කර ඇත.
​මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුව, රජයේ මෙම දූත සහ මානුෂීය ප්‍රයත්නයන් අගය කරමින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ඇගයීම් ලිපියක් සහ දීපාවලි තෑගි පාර්සලයක් අදාළ සංවිධානය විසින් පිරිනමනු ලැබීය.
​මෙම ලිපිය සහ තෑගි පාර්සලය ඔක්තෝබර් 21 වන දින යැංගොන් (Yangon) හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිනි ප්‍රභාෂිණී පොන්නම්පෙරුම මහත්මිය වෙත භාර දෙන ලදී.
​හින්දු මුන්නානි මියන්මාර් සංවිධානයේ ප්‍රධාන ලේකම් ක්‍යාව් නායිං ඕ (Kyaw Naing Oo), අනුශාසකයින් වන ක්‍යී සෝ (Kyi Soe) සහ ක්‍යාව් මින් (Kyaw Min), සභාපති නායිං වින් ටුන් (Naing Win Tun), සහ නිලධාරීන් වන තාන් තාන් සෝ (Than Than Soe) සහ මොන් මොන් සාන් (Mon Mon San) යන මහත්ම මහත්මීන් මෙම නියෝජිත පිරිසට ඇතුළත් වූහ.
​මෙම හමුවේදී නියෝජිතයින් විසින් සිවරාසා මහතාගේ මරණ දඬුවම ඉවත් කරවා ගැනීමට ශ්‍රී ලංකා රජය දැක්වූ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම ඇගයීමට ලක් කරන ලදී.
​ආගමික සහ ජාතික සීමාවන්ගෙන් ඔබ්බට යමින් කරුණාව සහ සහෝදරත්වය වැනි අගයයන් පිළිඹිඹු කරමින් රජය අනුගමනය කළ මානුෂීය ප්‍රවේශය ද ඔවුන්ගේ ප්‍රශංසාවට ලක් විය.
​මියන්මාර ජනතාව ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන සුහදතාව සහ සහයෝගීතාව පිළිඹිඹු කිරීමක් ලෙස යැංගොන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙම ඇගයීම අගය කර සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *