බන්ධනාගාර මාරුවෙන් පසු රැඳවියන් පිරිසකට තුවාල, ප්‍රතිකාරත් ප්‍රමාද වෙලා – HRCSL

0
බන්ධනාගාර මාරුවෙන් පසු රැඳවියන් පිරිසකට තුවාල, ප්‍රතිකාරත් ප්‍රමාද වෙලා – HRCSL

බන්ධනාගාර මාරුවෙන් පසු රැඳවියන් පිරිසකට තුවාල, ප්‍රතිකාරත් ප්‍රමාද වෙලා – HRCSL

මීගමුව බන්ධනාගාරයේ මෑතකදී ඇති වූ ප්‍රචණ්ඩකාරී තත්ත්වය සහ ඉන් අනතුරුව අනෙකුත් බන්ධනාගාරවල සිදු වූ සිදුවීම් මාලාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ, මෙම සිද්ධීන් සම්බන්ධයෙන් කොමිසම මෙතෙක් ස්ථිර නිගමනයකට එළඹ නොමැති අතර මේ වන විටත් සාක්ෂි රැස්කිරීමේ සහ ප්‍රකාශ සටහන් කරගැනීමේ කටයුතු සිදුවෙමින් පවතින බවයි.

කොමිෂන් සභාවේ අවධානය යොමුව ඇති ප්‍රධාන කරුණු 3ක් පිළිබඳව එම නිවේදනයේ සඳහන් වනවා. එනම්,

1.මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩත්වයට සහ රැඳවියන් හා බන්ධනාගාර නිලධාරීන් මියයාමට මෙන්ම තුවාල ලැබීමට හේතු වූ පසුබිම.

2.පසුගිය ජූලි 7 වැනිදා රාත්‍රී 8.30 ට පමණ පූර්ව දැනුම්දීමකින් තොරව වැලිකඩ බන්ධනාගාරයේ නිරීක්ෂණයක නිරත වීමට ගිය මානව හිමිකම් කොමිසමේ නිලධාරීන්ට එහි ඇතුළු වීමට බන්ධනාගාර බලධාරීන් ඉඩ ලබා නොදීම.

3.මීගමුව බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවූ රැඳවියන්ට වධහිංසා පැමිණවීම් සහ අමානුෂික ලෙස සැලකූ බවට වන චෝදනා මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ සිටියදී රැඳවියන් දෙදෙනෙකු මියයාම.

මීගමුව බන්ධනාගාරයේ සිට රැඳවියන් මාරු කර යවන ලද බන්ධනාගාර කිහිපයකට කොමිසමේ නිලධාරීන් ගිය අවස්ථාවේදී, තුවාල ලබා සිටි රැඳවියන් කිහිප දෙනෙකු නිරීක්ෂණය වී ඇති බවත, ඔවුන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම බන්ධනාගාර බලධාරීන් විසින් ප්‍රමාද කර ඇති බවට හෙළි වී ඇති බවත් ඔවුන් පෙන්වා දෙනවා.

එවැනි ක්‍රමානුකූල ප්‍රමාදයන් “පළිගැනීමේ ස්වරූපයක්” විය හැකි බැවින් වහාම ප්‍රමාදයකින් තොරව ප්‍රතිකාර ලබාදීමට පියවර ගන්නා ලෙස කොමිසම නිර්දේශ කර තිබෙනවා.

පූර්ව දැනුම්දීමකින් තොරව ඕනෑම රැඳවුම් මධ්‍යස්ථානයක් පරීක්ෂා කිරීමට මානව හිමිකම් කොමිසමට ඇති ව්‍යවස්ථාපිත අයිතිය ජූලි 7 වැනිදා වැලිකඩ බන්ධනාගාරයේදී අවහිර කිරීම, 1996 අංක 21 දරන මානව හිමිකම් කොමිෂන් සභා පනත උල්ලංඝනය කිරීමක් බව කොමිසම අවධාරණය කරනවා.

එම තීරණාත්මක අවස්ථාවේදී ඇතුළු වීමට ඉඩ නොදීම හේතුවෙන් වධහිංසා පැමිණවීම් පිළිබඳ චෝදනා කාලෝචිත ලෙස විමර්ශනය කිරීමට තිබූ අවස්ථාව අහිමි වූ බව පෙන්වා දෙන කොමිෂන් සභාව, ජූලි 7 වැනිදා ඇතුළු වීමට අවසර ප්‍රතික්ෂේප වූ තත්ත්වය පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් (රාජකාරී ආවරණය කරන) සහ වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා තමන් ඉදිරියට කැඳවා තිබෙන බව සඳහන් කරනවා.

මේ පිළිබඳව වාර්තා කිරීමේදී අතිශය නිවැරදි සහ වගකිව යුතු අයුරින් කටයුතු කරන ලෙස සියලුම මාධ්‍ය ආයතනවලින් මානව හිමිකම් කොමිසන් සභාව විසින් විශේෂ ඉල්ලීමක් ද කර සිටියි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com