11 වැනි ජාතික අනතුරු නිවාරණ සතිය 06 වනදා සිට 10 වනදා දක්වා
11 වැනි ජාතික අනතුරු නිවාරණ සතිය 06 සිට 10 දක්වා
හදිසි අනතුරු හේතුවෙන් වාර්ෂිකව දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත අහිමි වීම හා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් තුවාල හා ආබාධිත තත්ත්වයට පත්වීම සැලකිල්ලට ගනිමින් ජනතාව අතර අනතුරු නිවාරණය පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීම සඳහා 11 වැනි ජාතික අනතුරු නිවාරණ සතිය හෙට (06) සිට ආරම්භ වීමට නියමිතව තිබේ.
ඒ අනුව 06 සිට එළැඹෙන 10 වැනි දින දක්වා මෙම අනතුරු නිවාරණ සතිය ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇත.
මෙරට රජයේ රෝහල්වල නේවාසික ප්‍රතිකාර සඳහා ඇතුළත්වන රෝගීන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් හදිසි අනතුරු හේතුවෙන් ප්‍රතිකාර ලබන අතර වැටීම්, මාර්ග අනතුරු, සේවා ස්ථානවල සිදුවන අනතුරු, දියේ ගිලීම් සහ නිවාස ආශ්රිත අනතුරු ඒ අතර ප්‍රධාන ස්ථානක් ගන්නා අතර සෞඛ්‍ය සේවාවට මෙන්ම රටේ සමාජ හා ආර්ථික සංවර්ධනයට ද අනතුරු මගින් ඇතිවන බලපෑම අවම කිරීම මෙම වැඩසටහනේ අරමුණ වී තිබේ.
මෙම වැඩසටහනේ සමාරම්භක උත්සවය හෙට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වීමටද නියමිතව ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය, ජාතික අනතුරු වැළැක්වීම පිළිබඳ උපදේශක කමිටුවේ මගපෙන්වීම යටතේ සංවිධානය කරන මෙම වැඩසටහන යටතේ සෑම දිනකම විශේෂ තේමාවක් යටතේ ක්‍රියාත්මක කිරීමටද නියමිතය.
ඒ අනුව හෙට දින මාර්ග අනතුරු වැළැක්වීමේ දිනය ලෙසත්, ජූලි 07 සේවා ස්ථානවල සිදුවන අනතුරු වැළැක්වීමේ දිනය, ජූලි 08 නිවෙස් හා වැඩිහිටි නිවාසවල අනතුරු වැළැක්වීමේ දිනය, ජූලි 09 දියේ ගිලීම්වලින් සිදුවන අනතුරු වැළැක්වීමේ දිනය, ජූලි 10 පාසල්, පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානවල අනතුරු වැළැක්වීමේ දිනය ලෙසත් නම් කර තිබේ.
මෙම සතිය තුළ දිවයින පුරා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්, අවදානම් ස්ථාන හඳුනාගැනීමේ ක්‍රියාකාරකම්, ආරක්ෂිත පරිසරයක් ගොඩනැගීම සඳහා ප්‍රායෝගික වැඩසටහන් සහ අනතුරු අවම කිරීම සඳහා කෙටි, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
රාජ්‍ය ආයතන, සෞඛ්‍ය ආයතන, අධ්‍යාපන අංශය, ආරක්ෂක අංශ සහ අනෙකුත් අදාළ පාර්ශ්වයන්ගේ ඒකාබද්ධ දායකත්වයෙන් මෙම වැඩසටන ක්‍රියාත්මක කෙරෙනු ඇත.




