“ද වොයිස් ඔෆ් හින්ද් රජබ්” (The Voice of Hind Rajab) චිත්‍රපටයේ විශේෂ ප්‍රදර්ශනයක් ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කරයි
“ද වොයිස් ඔෆ් හින්ද් රජබ්” (The Voice of Hind Rajab) චිත්‍රපටයේ විශේෂ ප්‍රදර්ශනයක් ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කරයි
ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති කාර්යාලය, සිලෝන් තියටර්ස් (Ceylon Theatre) සහ ශ්‍රී ලංකා – පලස්තීන සහයෝගීතා කමිටුව (Sri Lanka-Palestine Solidarity Committee) එක්ව, ජාත්‍යන්තරව ප්‍රශංසාවට ලක් වූ සහ ඔස්කාර් සම්මානය සඳහා නිර්දේශිත “ද වොයිස් ඔෆ් හින්ද් රජබ්” (The Voice of Hind Rajab) චිත්‍රපටයේ විශේෂ ප්‍රදර්ශනයක් ශ්‍රී ලංකාවේ සාර්ථකව සංවිධානය කර ප්‍රදර්ශනය කර ඇත.
මෙම චිත්‍රපටය එය ලබා දෙන ප්‍රබල මානුෂීය පණිවිඩය වෙනුවෙන් බොහෝ ජාත්‍යන්තර සම්මාන සහ පුළුල් පිළිගැනීමක් ලබා ඇත.
මෙම නිර්මාණාත්මක සංස්කෘතික සහයෝගීතාව, පලස්තීන ජනතාවගේ සාධාරණ අරගලය පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීමටත්, ගාසා තීරයේ අඛණ්ඩව සිදුවන ජන සංහාරක යුද්ධයෙන් පීඩාවට පත් අහිංසක ජනතාවට හඬක් දෙන සංස්කෘතික ප්රයත්නයන්ට සහාය දැක්වීමටත්, සියලුම හවුල්කරුවන්ගේ සාමූහික කැපවීම ප්‍රකාශ කරයි.
“ද වොයිස් ඔෆ් හින්ද් රජබ්” චිත්‍රපටය, පලස්තීන සිවිල් වැසියන්ට එරෙහිව ඊශ්‍රායල ආක්රමණිකයින් විසින් සිදු කරන ලද කෘර යුද අපරාධ සඳහා සෘජු සාක්ෂියක් ලෙස පවතී. බලගතු හා හද කම්පා කරවන කතාවක් තුළින්, මෙම චිත්‍රපටය වත්මන් ගැටුම්වල ඛේදනීය ප්‍රතිවිපාක හෙළි කරන අතර, අල්ලාගෙන සිටින පලස්තීන ප්‍රදේශවල අහිංසක දරුවන්ගේ සහ පවුල්වල ඛේදවාචකය ද ආලෝකමත් කරයි.
මෙම චිත්‍රපටයේ ජාත්‍යන්තර සාර්ථකත්වය, දේශපාලන මතවාදවලින් ඔබ්බට ගොස් සත්‍යය ගෙන ඒමේ දී කලාවේ සහ සිනමාවේ බලය ඔප්පු කර ඇත. ජනතාවගේ සැබෑ කතා ඉදිරිපත් කිරීමෙන්, භූමියේ යථාර්ථය පිළිබඳ ගෝලීය දැනුවත්භාවය ඇති කිරීමටත්, පලස්තීන ජනතාව මුහුණ දෙන වේදනාකාරී සහ බොහෝ විට නොසලකා හරින අත්දැකීම් ලෝකවාසීන් හොඳින් අවබෝධ කර ගැනීමටත් “හින්ද් රජබ්” චිත්‍රපටය මග පෑදී ඇත.
මෙම වැදගත් සංස්කෘතික උත්සවය සාර්ථකව පැවැත්වීම සඳහා කැපවීමෙන් සහයෝගය ලබා දුන් සිලෝන් තියටර්ස් සහ ශ්‍රී ලංකා – පලස්තීන සහයෝගීතා කමිටුව වෙත ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති කාර්යාලය සිය සුහද කෘතඥතාව පුද කරයි. එවැනි ප්රයත්නයන් ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කරන අතර, සංවාදයන් දිරිගන්වමින් යුක්තිය, මානව ගරුත්වය සහ මානව හිමිකම් වැනි විශ්වීය වටිනාකම් නැවත තහවුරු කරන බව තානාපති කාර්යාලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.
ටියුනීසියානු නිෂ්පාදකවරියක වන කව්‍තර් බෙන් හානියාගේ නිෂ්පාදනයක් වන මෙම මිනිත්තු 90ක චිත්‍රපටය, තවමත් සිදුවෙමින් පවතින ජන සංහාරයේ සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන, ඝාතනයට ලක් වූ හින්ද් රජබ්ගේ සැබෑ හඬ පටිගත කිරීම සමඟ නිපදවා ඇත.
ඊයේ (18) කොළඹ මැජස්ටික් සිනමා ශාලාවේ පැවති විශේෂ ප්‍රදර්ශන උත්සවයට ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය සුනිල් සෙනෙවි, නියෝජ්‍ය කතානායක රිස්වි සාලි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු කතානායක කරු ජයසූරිය, රංගන ශිල්පී සනත් ගුණතිලක, විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු බොහෝ දෙනෙක් සහභාගී විය.









