අනෝජන්ට එරෙහි නඩු සියල්ල ඉවතට: ඔහු ලංකාවට ගෙන ඒමට පියවර!
සෞදි අරාබියේදී චෝදනාවලට ලක්ව සිටි ශ්‍රී ලාංකික ජාතික අනෝජන් සිවරාසාට (Anojan Sivarasa) එරෙහි නඩුව ඉදිරියට පවත්වාගෙන නොයෑමට සෞදි අරාබියේ මහජන පැමිණිලි මෙහෙයවීමේ කාර්යාලය (Public Prosecution) තීරණය කර ඇති බැවින් ඔහුව නිදහස් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
සිවරාසාට පනවා තිබූ මරණ දඬුවම පසුගියදා සෞදි අරාබි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කරන ලදී.
අද (11) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ අනෝජන්ට එරෙහිව සෞදි අධිකරණයක තවදුරටත් කිසිදු නඩුවක් නොමැති බවත්, ඔහු දැනට භාරයේ පසුවුවද සතියක් හෝ දෙකක් ඇතුළත නැවත ශ්‍රී ලංකාවට ගෙන ඒමට අපේක්ෂා කරන බවත්ය.
ඔහුව නැවත ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
අනෝජන් සිවරාසාගේ පවුලේ සාමාජිකයින් අද විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත පැමිණ සිය පුතණුවන් නිදහස් කර ගැනීම සඳහා දැක්වූ කැපවීම සහ උත්සාහය වෙනුවෙන් ජනාධිපතිවරයාට, අමාත්‍යාංශයට සහ ඊට සම්බන්ධ සියලුම රාජ්‍ය ආයතන හා නිලධාරීන්ට සිය කෘතඥතාව පළ කළ බව අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
අනෝජන් නිදහස් කර ගැනීමට හැකි වූයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නිසි මගපෙන්වීම, ඔහුගේ තානාපති මට්ටමේ මැදිහත්වීම සහ අනෙකුත් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ උත්සාහය හේතුවෙන් බව අමාත්‍ය හේරත් මහතා පැවසීය.
සෞදි අරාබි රජය සහ අධිකරණය, සෞදි අරාබියේ සහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික ආයතන සහ නිලධාරීන් මෙන්ම මෙම කාරණය සම්බන්ධයෙන් සහාය වීම සඳහා සෞදි අරාබියට ගිය නීතිඥ කණ්ඩායම ඉටුකළ කාර්යභාරය ද අමාත්‍යවරයා මෙහිදී අගය කළේය.
අපහාසාත්මක යැයි සැලකෙන ෆේස්බුක් සටහනක් සම්බන්ධ චෝදනා මත 2026 සැප්තැම්බර් 17 වැනිදා සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය අභියාචනාධිකරණය විසින් අනෝජන් සිවරාසාට මරණ දඬුවම නියම කරන ලදී.
රාජ්‍ය තාන්ත්‍රික සහ අනෙකුත් මැදිහත්වීම්වලින් පසුව, සෞදි අධිකරණය විසින් 2026 ඔක්තෝබර් 14 වැනිදා එම මරණ දඬුවම අවලංගු කරන ලදී. කෙසේ වෙතත්, සෙසූ දඬුවම්වලින් ද ඔහුව නිදහස් කර ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් දිගටම පැවැත්විණි.
එම නොකඩවා කළ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස, 2026 නොවැම්බර් 09 වන දින සෞදි මහජන පැමිණිලි මෙහෙයවීමේ කාර්යාලය නීතිමය කටයුතු තවදුරටත් ඉදිරියට පවත්වාගෙන නොයෑමට තීරණය කළ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
