දැරියක් අපයෝජනය කළ ආශ්‍රම භික්ෂුවකට වසර 10ක බරපතළ වැඩසහිත සිරදඬුවම්
දැරියක් අපයෝජනය කළ ආශ්‍රම භික්ෂුවකට වසර 10ක බරපතළ වැඩසහිත සිරදඬුවම්
මානසික පීඩාවකින් පසු වූ බාල වයස්කාර දැරියකට වෛද්‍ය ප්‍රතිකාර කරන මුවාවෙන් බරපතළ ලිංගික අපයෝජනයක් කිරීමේ චෝදනාවට වරදකරු වූ කොළඹට නුදුරු ආශ්රමයක වාසය කළ භික්ෂුවකට කොළඹ මහාධිකරණය පසුගියදා වසර 10ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කරන ලදී.
මෙලෙස දඬුවම් නියම වූයේ මීට වසර පහකට පෙර, මානසික රෝගයකට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි දැරියකට ‘තෙල් සාත්තුවක්’ කරන බව පවසා ඇය අපයෝජනයට ලක් කළ භික්ෂුවකටය. සිරදඬුවමට අමතරව වින්දිත දැරියට රුපියල් ලක්ෂ 5ක වන්දියක් ගෙවන ලෙස නියෝග කළ කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා, එම වන්දි මුදල නොගෙවන්නේ නම් නොගෙවන සෑම ලක්ෂයකටම වසරක බැගින් තවත් වසර 5ක අතිරේක සිරදඬුවමක්ද විත්තිකරුට නියම කළේය. විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබුණේ 1995 අංක 22 දරන පනතින් සහ 2006 අංක 16 දරන පනතින් සංශෝධිත දණ්ඩ නීති සංග්‍රහයේ 365 (ආ) වගන්තිය යටතේ බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාව යටතේය. නඩු විභාගයේදී විත්තිකරු ශරීරයේ තෙල් ගැල්වීම වෛද්‍ය ප්‍රතිකාරයේ අංගයක් බව කියා සිටියද, ලිංගික තෘප්තිය ලබා ගැනීමට දැරියගේ ලිංගේන්ද්‍රිය ආශ්‍රිත ප්‍රදේශය අනවශ්‍ය ලෙස ස්පර්ශ කිරීම හා පිරිමැදීම හරහා මේ අපරාධය කර ඇති බව අධිකරණය හමුවේ තහවුරු විය. අදාළ දැරිය මුලින් අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයෙන් ප්‍රතිකාර ලබාගෙන තිබූ අතර, එහි ප්‍රතිකාර ප්‍රමාද බව සිතූ ඇයගේ මිත්තණිය ඉක්මන් සහනයක් පතා දැරිය මේ ආශ්‍රමය වෙත යොමු කර ඇත.
එහිදී මුල් අවස්ථාවේදී තිත්ත බෙහෙත් පානය කිරීමට දී වමනය කිරීමට සලස්වා ඇත. අනතුරුව ඇඳුම් යටින් අත දමා තෙල් ගෑමකර සුරයක් පලඳවා තිබේ. මේ ප්රතිකාරවලින් පසු දැරියගේ තත්ත්වය යහපත් වී තිබේ. පසුව එම සුරය නැතිවීම නිසා නැවත රෝගී තත්ත්වය මතු වූ අවස්ථාවේදී දැරිය සහ ඇයගේ සොහොයුරා කැටුව මිත්තණිය නැවතත් භික්ෂුව වෙත ගොස් ඇත.
ඒ අවස්ථාවේදී පිරිත් සජ්ඣායනා කර ආශීර්වාද කළ භික්ෂුව, මිත්තණියට පැදුර අකුලන ලෙස පවසා දැරිය පමණක් බලහත්කාරයෙන් ආවාස ගෙට රැගෙන ගොස් තිබේ. එහිදී දැරිය සමඟ පැමිණි සොහොයුරා ද තල්ලු කර දොර වසා මේ අපරාධය කර ඇත. සිදු වූ අතවරය පිළිබඳ දැරිය මුලින් බියෙන් නිහඬව සිටියද, පසුව මව සමඟ පවසා ඇති අතර දැරියගේ පියා මේ පිළිබඳව ළමා ආරක්ෂක අධිකාරියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ විය.
නඩු විභාගයේදී ඉදිරිපත් වූ අධිකරණ වෛද්‍ය සාක්ෂි මඟින් දැරිය බලවත් ලෙස අපයෝජනයට ලක්ව ඇති බව සනාථ විය. දඬුවම ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා අවධාරණය කළේ, අඩු ආදායම්ලාභීන් ජීවත්වන ප්‍රදේශයක ආශ්රමයක් පවත්වාගෙන යමින්, සහනයක් පතා තමා වෙත පැමිණෙන පිරිස් මෙලෙස අපයෝජනය කිරීම ආගමික නායකයකුගෙන් සමාජය කිසිසේත් අපේක්ෂා නොකරන නින්දිත අපරාධයක් බවයි. මෙවැනි අපරාධකරුවන්ට එරෙහිව දැඩි දඬුවම් නියම කිරීම හරහා සමාජයට ප්‍රබල පණිවිඩයක් ලබා දිය යුතු බවද විනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කළේය.





