බදුල්ල ධර්මදූත විද්‍යාලයට කෝටි 7.6ක නව ක්‍රීඩාංගණයක්
බදුල්ල ධර්මදූත විද්‍යාලයට කෝටි 7.6ක නව ක්‍රීඩාංගණයක්
ඌව පළාතේ කීර්තිමත් පාසලක් වන බදුල්ල ධර්මදූත විද්‍යාලයේ ක්‍රීඩාංගණය ජාත්‍යන්තර මට්ටමට සංවර්ධනය කිරීමේ මහා පරිමාණ ව්‍යාපෘතියක් මේ වන විට ආරම්භ කර තිබේ.
පාසල් දරුවන්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය මඟින් රුපියල් කෝටි 7.6ක (මිලියන 76ක) දැවැන්ත මුදල් ප්‍රතිපාදනයක් වෙන් කර ඇත.
මෙම සංවර්ධන කටයුතුවල වත්මන් ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා පසුගියදා විද්‍යාලයීය ක්‍රීඩාංගණ පරිශ්‍රයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී විද්‍යාලයේ විදුහල්පතිවරයා, ආදි ශිෂ්‍ය සංගමය සහ ක්‍රීඩා නිලධාරීන් සමඟ අමාත්‍යවරයා ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කළේය.
මෙම නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය:
“බදුල්ල ධර්මදූත විද්‍යාලය කියන්නේ ඉතිහාසයේ ඉඳන්ම ක්‍රීඩාවට ඉතාම ප්‍රසිද්ධ, රටට ජාතික මට්ටමේ ක්‍රීඩකයන් බිහි කරපු පාසලක්. නමුත් කාලයක ඉඳන් මේ විද්‍යාලයේ තිබුණු ලොකුම අඩුපාඩුවක් තමයි ක්‍රීඩාවට අවශ්‍ය නිසි ක්‍රීඩාපිටියක් නොමැතිකම. වෙනත් පිටිවලට ගිහින් පුහුණුවීම් කරන්න යාමෙන් දරුවන්ට ක්‍රීඩා කිරීමට තිබෙන අවස්ථා අහිමි වෙනවා.
මේ නිසාම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් සකස් කර දුන් සම්පූර්ණ ඇස්තමේන්තුව අපි අනුමත කරලා දුන්නා. ධර්මදූත විද්‍යාල ඉතිහාසයේ ක්‍රීඩාංගණ සංවර්ධනයක් වෙනුවෙන් කෝටි 7.6ක (හයකට අධික) මෙවැනි දැවැන්ත මුදලක් එකවර ලැබුණු පළමු අවස්ථාව මෙයයි. අපේ බලාපොරොත්තුව වසර ගණන් මේ ව්‍යාපෘතිය ඇදගෙන යන්න නෙවෙයි. මාස 6ක් වැනි කෙටි කාලයක් ඇතුළත, එනම් එළඹෙන දෙසැම්බර් මාසය මැද වන විට මෙහි වැඩකටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කර දරුවන්ට අංගසම්පූර්ණ ක්‍රීඩාපිටියක් දායාද කිරීමයි.”
විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු පාලනාධිකාරිය සහ ආදි ශිෂ්‍ය සංගමය ඉතාමත් උනන්දුවෙන් සහ වගකීමෙන් මේ සඳහා මැදිහත් වී සිටින බැවින්, නියමිත කාලසීමාවට පෙර ව්‍යාපෘතිය නිම කිරීමට හැකි වනු ඇති බවට අමාත්‍යවරයා මෙහිදී විශ්වාසය පළ කළේය.
තවද, මෙම වැඩපිළිවෙළ යටතේ ඉදිරියේදී බදුල්ල දිස්ත්‍රික්කයේ තවත් පාසල් කිහිපයක ක්‍රීඩාපිටි මේ අයුරින්ම සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.




