වසර 19 කට පසු ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ C188 ධීවර සම්මුතිය අපරානුමත කිරීමට අනුමැතිය

0
වසර 19 කට පසු ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ C188 ධීවර සම්මුතිය අපරානුමත කිරීමට අනුමැතිය

වසර 19 කට පසු ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ C188 ධීවර සම්මුතිය අපරානුමත කිරීමට අනුමැතිය

ශ්‍රී ලංකාවේ 315,000කට අධික ධීවර ප්‍රජාවගේ වෘත්තීය සුරක්ෂිතතාව, සෞඛ්‍යාරක්ෂාව සහ සේවා කොන්දේසි ඉහළ නැංවීම අරමුණු කරගනිමින්, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) “ධීවර කර්මාන්තයේ සේවා නියුක්තිය පිළිබඳ සම්මුතිය” (C188) අපරානුමත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

මෙම අනුමැතිය හිමිව ඇත්තේ ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යවරයා සහ කම්කරු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාවකටය.

2007 වසරේදී පැවති ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 96 වන ජාත්‍යන්තර කම්කරු සමුළුවේදී සම්මත කරගන්නා ලද මෙම සම්මුතිය මඟින් ධීවර ක්ෂේත්‍රයේ නියැලෙන්නන් වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතීන් ගණනාවක් ස්ථාපිත කර ඇත.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ C188 සම්මුතිය මඟින් ධීවර කාර්මිකයන්ගේ සේවා තත්ත්වයන් සහ සුබසාධනය ඉහළ නැංවීම සඳහා ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතීන් රැසක් ස්ථාපිත කරනු ලබයි. ඒ අනුව, සේවයේ යෙදෙන කාලසීමාවන් පාලනය කිරීම, සුදුසු නවාතැන් සහ පෝෂ්‍යදායී ආහාර පහසුකම් තහවුරු කිරීම වැනි යහපත් සේවා කොන්දේසි පවත්වාගෙන යාම මින් අපේක්ෂා කෙරේ.

එමෙන්ම, මුහුදු ගමනාගමනයේදී සෞඛ්‍යාරක්ෂිත වටපිටාවක් නිර්මාණය කරමින් අවශ්‍ය අවස්ථාවලදී වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඇති ප්‍රවේශය තහවුරු කිරීමත්, වෘත්තීය අනතුරු අවම කරගනිමින් ධීවරයන්ගේ සමස්ත ආරක්ෂණය හා සුරක්ෂිතතාව සැලසීමත් මෙම සම්මුතිය හරහා ප්‍රධාන වශයෙන් සාක්ෂාත් කරගත් හැකි වනු ඇත.

ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය එහි පවතින සාම්ප්‍රදායික සහ අවිධිමත් ස්වභාවය නිසාම, ශ්‍රමිකයන්ගේ සේවා කොන්දේසි හා සෞඛ්‍ය ආරක්ෂණය සම්බන්ධයෙන් ගැටලු රැසකට මුහුණ දෙමින් සිටියි. මෙම සම්මුතිය අපරානුමත කර රට තුළ ඊට අදාළ නීති සකස් කළ පසු ධීවර කර්මාන්තයේ නිරත වන ශ්‍රමිකයන්ට යහපත් රැකියා කොන්දේසි සහ ජීවන තත්ත්වයක් ඇති වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com