BBC මාධ්‍යවේදීන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවීම, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හෙළා දකියි

0
BBC මාධ්‍යවේදීන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවීම, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හෙළා දකියි

BBC මාධ්‍යවේදීන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවීම, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හෙළා දකියි

බීබීසී (BBC) සිංහල සේවයේ මාධ්‍යවේදීන් පාර්ලිමේන්තු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව හමුවට කැඳවීමට පියවර ගැනීම, ජනමාධ්‍ය මර්දනයට සහ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට එල්ල කළ බරපතල තර්ජනයක් බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

හිටපු අටමස්ථාධිපති පල්ලේගම හේමරතන චෝදනා ලැබ සිටින අනුරාධපුර බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීමේ සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සහ ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය අතර පැවැති සාකච්ඡාවක් සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සිදුකළ වාර්තා කිරීමක් පදනම් කරගනිමින් මෙලෙස මාධ්‍යවේදීන් කැඳවා ඇත.

එම සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් පාර්ලිමේන්තුවට කැඳවා දෝෂාරෝපණය කිරීම පිළිබඳව බීබීසී සිංහල සේවය වාර්තා කර තිබේ.

එම වාර්තා කිරීම පදනම් කරගනිමින්, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, කතානායකවරයාගේ නියෝගයෙන් බීබීසී සිංහල සේවයේ කර්තෘ ඉෂාරා ධනසේකර සහ මාධ්‍යවේදී සම්පත් දිසානායක එළඹෙන ජූලි 23 වැනි බ්‍රහස්පතින්දා පස්වරු 2.00ට පාර්ලිමේන්තු වරප්‍රසාද කාරක සභාව හමුවට කැඳවා ඇත.

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය යනු කිසිදු නිල හෝ නීතිමය බලයක් නොමැති, පාර්ලිමේන්තුව අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වන මන්ත්‍රීවරියන්ගේ සුබසාධක මහිලා සමිතියක් පමණක් වන බවයි. මෙවැනි නිල බලයක් නොමැති පසුබිමක, ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිනියගෙන් ප්‍රශ්න කිරීමට එම සංසදය දැරූ උත්සාහය සහ ඊට අදාළ තොරතුරු සමාජගත කිරීමේ වගකීම ඉටුකළ මාධ්‍යවේදීන් වරප්‍රසාද කමිටුව හමුවට කැඳවීම, ජනතාවගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට මෙන්ම ජනමාධ්‍යයේ ස්වාධීනත්වයට එල්ල කළ බරපතල තර්ජනයක් ලෙස එම සංගමය දැඩි ලෙස පෙන්වා දෙයි.

තවද, වර්තමාන ආණ්ඩුව සිය අසාර්ථකත්වයන් සහ අක්‍රමිකතාවයන් වසා ගැනීමටත්, ජනමාධ්‍ය බියගන්වා නිහඬ කිරීමටත් පාර්ලිමේන්තු වරප්‍රසාද අවලස්සන ලෙස පාවිච්චි කිරීම ශ්‍රී ලංකාවේ මාධ්‍ය මර්දන ඉතිහාසයට එකතු වන තවත් එක් කළු පැල්ලමක් බවද වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්:

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com