ශ්‍රී ලංකාවේ කොන්ක්‍රීට් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය ඇරඹේ
ශ්‍රී ලංකාවේ කොන්ක්‍රීට් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය ඇරඹේ
රජයේ ප්‍රමුඛ වැඩසටහනක් වන “Clean Sri Lanka” ජාතික වැඩසටහනේ පාරිසරික අරමුණු සාක්ෂාත් කරමින්, ඉදිකිරීම් සහ ගොඩනැගිලි කඩා ඉවත් කිරීමේ (C&D) අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම විධිමත් ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය ඊයේ (08) කොළඹ, ඒකල කාර්මික ජනපදයේදී නිල වශයෙන් ආරම්භ කරන ලදී.
නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමත්‍යාංශය රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් පෙරසවි අංගන පරිශ්‍රයේ ස්ථාපිත මෙම ව්‍යාපෘතිය, මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තිරසාර පාරිසරික පරිවර්තනයක් කරා තැබූ සුවිශේෂ පියවරකි.
ලෝකයේ සමස්ත අපද්‍රව්‍ය ප්‍රමාණයෙන් 40%ක් සහ කාබන් විමෝචනයෙන් 25%ක් ජනනය කරනු ලබන්නේ ඉදිකිරීම් කර්මාන්තය වන අතර, ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතෙන් පමණක් දිනකට එවැනි අපද්‍රව්‍ය ටොන් 300ක් පමණ එකතු වේ.
මෙතෙක් කලක් අවිධිමත් ලෙස බැහැර කිරීම නිසා පාංශු දූෂණය, ජල දූෂණය සහ ගංවතුර අවදානම් ඇති කළ මෙම සුන්බුන්, මෙම ව්‍යාපෘතිය යටතේ නව තාක්ෂණය ඔස්සේ වටිනා අමුද්‍රව්‍ය බවට පත් කෙරේ.
මෙමගින් ස්වාභාවික සම්පත් ක්ෂය වීම අවම වන අතර ඉදිකිරීම් පිරිවැයද සැලකිය යුතු ලෙස අඩු කර ගැනීමට හැකි වනු ඇත.
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ පූර්ණ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වන මෙම මධ්‍යස්ථානය සඳහා රුපියල් මිලියන 350ක් වටිනා යන්ත්‍ර සූත්‍ර සහ භූමිය වෙන් කර තිබේ.
පැයකට මෙට්‍රික් ටොන් 200ක ධාරිතාවයකින් යුත් මෙම ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රාගාරයට අමතරව, නවීන විද්‍යාගාරයක් සහ පරිපාලන ගොඩනැගිල්ලක්ද ඉදි කර ඇත.
“Clean Sri Lanka” වැඩසටහන යටතේ රුපියල් මිලියන 200ක ප්‍රතිපාදන වෙන් වී ඇති අතර ඉන් රුපියල් මිලියන 150ක් දැනටමත් නිදහස් කර තිබේ.
ඉදිරියේදී මෙම වැඩපිළිවෙළට රාජ්‍ය විශ්වවිද්‍යාලවල ඉංජිනේරු පීඨ සම්බන්ධ කර ගනිමින් පර්යේෂණ කටයුතු පුළුල් කිරීමට ද සැලසුම් කර ඇත.
ස්වාභාවික සම්පත් අනාගත පරපුර උදෙසා සුරක්ෂිත කරමින් ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ චක්‍රීය ආර්ථිකයක් ගොඩනැගීමට සියලුම ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ගේ සහ පාර්ශ්වකරුවන්ගේ දායකත්වය බලාපොරොත්තු වේ.




