ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ තනතුරු 326කට පත්වීම්
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ තනතුරු 326කට පත්වීම්
රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී කිසිම ආකාරයක දේශපාලන මැදිහත්වීම් හෝ ඇමැතිවරයාගේ නාමලේඛන ඉදිරිපත් කිරීමක් සිදු නොවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ සහකාර – III ශ්‍රේණියේ තැපැල් සේවා නිලධාරි තනතුර සඳහා 326 දෙනකුට පත්වීම් ලිපි ප්රදානය කිරීම තැපැල් මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී ඊයේ දිනයේ (28) සිදුකළ අතර එහිදී ඇමැතිවරයා එසේ පවසා සිටියේය.
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ සහකාර – III ශ්‍රේණියේ තැපැල් සේවා නිලධාරි තනතුරු 600ක් සඳහා බඳවා ගැනීමට අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවන අතර පසුගිය වසරේ අග භාගයේ දී ඊට අදාළව පැවැත්වූ තරග විභාගය සමතුන්ගෙන් සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වී සුදුසුකම් සම්පූර්ණ කරන ලද 326 දෙනකුට මෙලෙස පත්වීම් ලිපි ප්රදානය කරන ලදි.
ඊයේ දින (30) පත්වීම් ලැබූ මේ නිලධාරීන් දිස්ත්‍රික් මට්ටමින් බඳවා ගැනීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති අතර පළාත් මට්ටමින් ස්ථාපිත කර ඇති තැපැල් අභ්‍යාස ආයතනවල සති දෙකක විශේෂ පුහුණුවකින් පසු අදාළ රාජකාරි කටයුතු සඳහා තැපල් කාර්යාල වෙත අනුයුක්ත කිරීමටද එම දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
මේ තනතුරට අයදුම්කරුවන් විසිදහසක් ඉල්ලුම් කර තිබුණු බවත්, නිලධාරීන් 600ක් බඳවා ගැනීමට අනුමැතිය ලබා තිබියදීත්, පැවැත්වූ සම්මුඛ පරීක්ෂණයේදී නිසි සුදුසුකම් සම්පූර්ණ කරන ලද අයදුම්කරුවන්ගෙන් 326ක් පමණක් තේරීපත් වූ බවත් ඇමැතිවරයා පැවසීය.





